Gossips

2019 අයවැය යෝජනා මගින් ඉහල දැමූ බදු ගාස්තු නිසා වෙනස්වන මිලගණන්

2019 අයවැය යෝජනා මගින් අංශ කිහිපයක බදු සහ ගාස්තු ඉහල දැමීමට යෝජනා කර තිබෙනවා.
ඒ අනුව රථ වාහන මිල ගණන් ඉහල ගොස් ඇති අතර අධිවේගී මාර්ගවල ගාස්තු ඉහලයාම හේතුවෙන් එම මාර්ගවල බස් ගාස්තු ද ඉහල
දැමිය යුතු බව බස්රථ හිමිකරුවන් පවසනවා.
2019 අයවැය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
එහිදී ඔහු සඳහන් කළේ, වාහන මත නිෂ්පාදන බදු සහ සුඛෝපභෝගී වාහන ආනයන බදු අද සිට බලපැවැත්වෙන පරිදි සංශෝධනය කරන බවයි.
ඒ අනුව සිලින්ඩර් ධාරිතාව 800ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රුපියල් 150,000 කින්, සිලින්ඩර් ධාරිතාව 1000 ට අඩු පෙට්‍රල් වාහන සඳහා
නිෂ්පාදන බද්ද රුපියල් 175,000 කින් සහ සිලින්ඩර් ධාරිතාව 1300ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රුපියල් 500,000කින් ඉහල ගොස් තිබෙනවා.
සිලින්ඩර් ධාරිතාව 800 ට අඩු දෙමුහුන් පෙට්‍රල් වාහන වාහනවල නිෂ්පාදන බද්ද රුපියල් 250,000 කින් පමණ ඉහලි ගොස් ඇති අතර සිලින්ඩර් ධාරිතාව 1500ට අඩු වාහනවල නිෂ්පාදන බද්ද ඉහල ගොස් තිබෙන්නේ රුපියල් 500,000කින්.
මීට අමතරව සුඛෝපභොගී වාහන ආනයනය සඳහා විශේෂ බද්දක් පැනවීමටද මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා.
එම මිල සංශෝධනයන්ට අනුව සුසුකි ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයක මිල රුපියල් 150,000 කින් පමණ ඉහල ගොස් ඇති අතර සුසුකි වැගන් ආර් වර්ගයේ මොටර් රථයක මිල රුපියල් 250,000 කින් පමණ ඉහල ගොස් ඇති බව වාහන ආනයනකරුවන් පෙන්වා දෙනවා.
ටොයෝටා විට්ස්, පැසෝ වැනි මෝටර් රථ රුපියල් 250,000 කින් පමණ ඉහල යනවා.
ටොයෝටා CHR මොටර් රථයක් රුපියල් 538,000 කින්, සුසුකි ස්විෆ්ට් හයිබ්‍රිඩ් රථයක් රුපියල් 372,000කින් සහ ටොයෝටා ප්‍රිමියෝ මෝටර් රථයක් රුපියල් 673,000කින් පමණ ඉහල යනු ඇති.
වාහන ආනයනකරුවන් පවසන්නේ ටොයෝටා ඇක්සියෝ, ඇක්වා, හොන්ඩා ග්‍රේස් වැනි මොටර් රථ රුපියල් 523,000කින්, ටොයෝටා ප්‍රියස් වැනි මෝටර් රථ රුපියල් 1,257,000 කින් ඉහල යන බවයි.
නිසාන් එක්ස් ට්‍රේල්, මිට්සුබිෂී අවුට්ලෑන්ඩර් වැනි මෝටර් රථ රුපියල් 700,000 කින් ඉහල යනවා.
කෙසේ වෙතත් කිලෝවොට් 70 – 100 අතර විදුලි මෝටර් රථ මත පනවා තිබූ නිෂ්පාදන බද්ද පහල දමා ඇති අතර එම සංශෝධනය අනුව නිසාන් ලීෆ්
වර්ගයේ මෝටර් රථයක් රුපියල් 200,000 සිට රුපියල් 400,000 දක්වා ප්‍රමාණයකින් මිල පමණ පහල යනවා.
මේ අතර කාර්යබහුල වේලාවන් වලදී අධිවේගී මාර්ගවල ගාස්තු රුපියල් 100කින් ඉහල දැමීමට අයවැය මගින් යෝජනා කළා.
ඒ අනුව බස්රථ හිමියන් පවසන්නේ එම මාර්ගවල බස් ගාස්තු ද ඉහල දැමිය යුතු බවයි.
මේ අතර දුම්වැටි සඳහා 12%ක් නිෂ්පාදන බද්දක් පැනවීමටද මෙවර අයවැයෙන් යෝජනා කළා.
ඒ අනුව දුම්වැටියක මිල රුපියල් 5කින් ඉහල යනවා.
දේශීයව නිෂ්පාදනය කරන මත්පැන් සඳහාද සුරාබද්දක් පනවා ඇති අතර ඒ හේතුවෙන් මිලිලීටර් 750 සැර මත්පැන් බෝතලයක මිල රුපියල් 63කින්ද, ධාන්‍ය මත්පැන් මිලිලීටර් 330ක කෑන් එකක මිල රුපියල් 9 කින්ද ඉහල යනු ඇති.