Gossips

2018 වසරේ දුම්රිය අනතුරුවලින් 464 ක් මරුට

පසුගිය වසරේ දුම්රිය අනතුරුවලින් පුද්ගලයින් 464 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සභාව සඳහන් කළේ 2018 වසරේ මුල් දින 36 තුළ දුම්රිය අනතුරු හේතුවෙන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
එමෙන්ම, 2017 වසරේ සෙල්ෆි ඡායාරූප ගැනීමට තැත් කිරීමේදී 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
දුම්රිය හරස් මාර්ගවලදී වාහන දුම්රියේ ගැටීම නිසා අනතුරු 101 ක් පසුගිය වසර තුළ වාර්තා වූ අතර ඉන් මරණ 13 ක් සහ තුවාල වීම් 69 ක් වාර්තා වී තිබුණා.
එමෙන්ම, දුම්රිය හරස් මාර්ගවල අනතුරු 605 ක් වාර්තා වී ඇති බවයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර, ලබන 31 වනදා නව දුම්රිය දෙකක් කැළණිවැලි දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට එක්වීමට නියමිතයි.
ඒ අනුව, අංක 9255 දරණ දුම්රිය කොටුව දුම්රිය ස්ථානයෙන් උදෑසන 10.30 ට ආරම්භ වී උදෑසන 11.35 ට හෝමාගම දුම්රිය ස්ථානය වෙත ළඟා වනු ඇති.
එමෙන්ම, අංක 9658 දරණ දුම්රිය හෝමාගම දුම්රිය ස්ථානයෙන් පස්වරු 12.30 ට ආරම්භ වී පස්වරු 1.38 ට කොළඹ කොටුවට ළඟා වීමට නියමිතයි.
මේ අතර කැළණිවැලි මාර්ගයේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට ඒකාබද්ධව ඉදිකර ඇති මාකුඹුර දුම්රිය ස්ථානය ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එදින විවෘත කිරීමට කටයුතු යොදා තිබෙනවා.
මේ හේතුවෙන් ඒ ආසන්නයේ මෙතෙක් කල් පැවති මාලපල්ල උප දුම්රිය ස්ථානය එදින සිට වසා දමනු ඇති.