Gossips

2017 සාමාන්‍ය පෙළ විභාගයේ විශිෂ්ඨයෝ (ඡායාරූප)

2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) රාත්‍රියේ අන්තර්ජාලයට නිකුත් කෙරුණා.
විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කළේ කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර කලාපවලට අයත් පාසල්වල විදුහල්පතිවරුන්ට ප්‍රතිඵල ලේඛන අද (29) පෙරවරු 10 න් පසුව නිකුත් කරන බවයි.
අනෙකුත් සියලුම පාසල් වෙත ප්‍රතිඵල ලේඛන අද දිනයේම තැපැල් කෙරෙන අතර සියලුම පෞද්ගලික අයදුම්කරුවන් සඳහා ප්‍රතිඵල ඉදිරියේදී තැපැල් කෙරෙන බවද ඔහු සඳහන් කළා.
ඊයේ (28) රාත්‍රියේ අන්තර්ජාලයට මුදාහැරුණු සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලට අනුව දිවයිනේ පළමු ස්ථාන 06 ක් වාර්තාවනවා.
ගම්පහ රත්නාවලී බාලිකා මහා විද්‍යාලයේ කසුනි හංසනා සෙනෙවිරත්න සහ චමෝදි රවීසා සුබසිංහ මෙලෙස පළමු ස්ථානයට පත්වූ සිසුවියන් දෙදෙනෙක්.
මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ නවෝද්‍යා ප්‍රභාවි රණසිංහ, මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ ලිමාෂා අමන්දි විමලවීර, මාතර සුජාතා විද්‍යාලයේ රන්දි ලක්ප්‍රියා සහ රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ කවීෂ ප්‍රතිභාත් මෙලෙස සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේ පළමු ස්ථානයට පත් සිසු සිසුවියන් වනවා.
කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ නිපුණි ඉන්දීවරී හේරත්, කොළඹ සී.එම්.එස්. බාලිකා විද්‍යාලයේ අනීෂා ගීතාංජලී ප්‍රනාන්දු, නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයේ රිසිනි දිනාරා කුමාරසිංහ සහ කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයේ කවීන් සංදීප සිරිවර්ධන දෙවනුව සාමාන්‍ය පෙළ විභාගයේ ඉහළම ප්‍රතිඵල ලැබූ දරුවන් වනවා.
එමෙන්ම ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ තිමන්ත සමාධි වික්‍රමසිංහ, හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සෙනුරි දිල්රු මල්ලිකාරච්චි, යාපනය වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලයේ නිරුති සුරේෂ්කුමාර්, මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ නිසංසා කසුන්දි ගොකරැල්ල සහ මාතර සුජාතා විද්‍යාලයේ අමන්දි නයනතාරා ජයසූරිය ද මෙලෙස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවනුව ඉහළ ප්‍රතිඵල ලැබූ සිසුන් අතරට ඇතුළත්.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවති සාමාන්‍ය පෙළ විභාගයට අපේක්ෂකයින් හය ලක්ෂ 88, 573 දෙනෙකු පෙනී සිටි අතර, මධ්‍යස්ථාන 5116 කදී විභාගය පැවැත්වුණා.
මෙවර විෂයන් 09 ටම ඒ සාමාර්ථ ලබාගත් සිසුන් සංඛ්‍යාව 9960 ක්.
2016 වසරේදී එම සංඛ්‍යාව 8224 ක් වන අතර, ඒ අනුව එම වසර හා සැසඳීමේදී මෙවර 1736 ක වැඩිවීමක් පෙන්නුම් කරන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.
ගණිතය සමත් සංඛ්‍යාව 2016 වසරේදී 62.81 ක් වන අතර, එය මේ වසරේදී 67.24 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
උසස් පෙළ සඳහා 2016 වසරේදී 69.94 ක් සුදුසුකම් ලබා ඇති අතර, ඊයේ නිකුත් කෙරුණු ප්‍රතිඵල අනුව එම ප්‍රතිශතය සියයට 73.05 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කළේ නැවත සමීක්ෂණ සඳහා පාසල් අයදුම්කරුවන් අප්‍රේල් මස 07 වනදාට පෙරද, පෞද්ගලික අයදුම්කරුවන් අප්‍රේල් මස 12 වනදාට පෙරද සිය අයදුම්පත් විභාග දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු බවයි.
දිවයිනේ පළමු ස්ථානයක් හිමිකරගත් මාතර සුජාතා විද්‍යාලයේ රන්දි ලක්ප්‍රියා

දිවයිනේ දෙවන ස්ථානයක් හිමිකරගත් මාතර සුජාතා විද්‍යාලයේ අමන්දි නයනතාරා ජයසූරිය


ඡායාරූප – මාතර, අධීෂ ආරියතිලක