Gossips

2015 – 2018 සමයේ රාජ්‍ය ආයතනවල, දූෂණ සොයන කොමිසම වැඩ අරඹයි

2015 සිට 2018 දක්වා රාජ්‍ය ආයතනවල දූෂණ සහ වංචා සෙවීමට ජනපති පත් කළ පරීක්ෂණ කොමිෂන් සභාවේ පැමිණිලි භාර ගැනීම දැන් ආරම්භ කර තිබෙනවා.
2015 ජනවාරි 14 වනදා සිට 2018 දෙසැම්බර් මස 31 වනදා දක්වා වූ කාල සීමාව තුළ රජයේ ආයතනවල සිදුවී ඇතැයි කියන දූෂණ, වංචා පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම කොමිෂන් සභාව පත් කරනු ලැබුවා.
ඒ අනුව, සියලූ පැමිණිලි 2019 මාර්තු 7 වන දින හෝ එදිනට පෙර ඉදිරිපත් කළ යුතු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
පැමිණිල්ල හෝ තොරතුරු සපයන ආයතනයේ නම සහ ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය හෝ ගුවන් ගමන් බලපත් අංකය එහි සඳහන් විය යුතුයි.
එමෙන්ම, කොමිෂන් සභාවට වාචිකව ඉදිරිපත් කිරීම් සිදුකිරීමට කැමති ආයතන සහ පුද්ගලයන්ට 0112 66 53 82 අංකයට ඇමතුමක් ලබාදී දිනයක් වෙන් කර ගත හැකියි.
කොමිෂන් සභාවේ පළමු අතුරු වාර්තාව මාස 3 ක් ඇතුළතත්, අවසන් වාර්තාව මාස 6 ක් ඇතුළතත් ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතයි.