සෞදි අරාබියේ දමාම් නුවර ගෘහ සේවිකාවක් ලෙසට සේවය කරමින් සිටියදී මියගිය කාන්තාවකගේ සිරුර වසර දෙක හමාරකට පසුව දිවයිනට එවා තිබෙනවා.
ඊයේ මෙම සිරුර කටුනායක ගුවන්තොටුපලට එවා තිබු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙලෙස මරණයට පත්වී ඇත්තේ උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි දෙදරු මවක්.
ඇය 1995 වසරේ හාලිඇල ප්‍රදේශයේ නියෝජිතයෙකු මාර්ගයෙන් සෞදි අරාබියේ රැකියාවක් සඳහා පිටත්ව ගොස් තිබුනා.
නිවසේ පැවති අගහිගතා හේතුවෙන් විදෙස්ගත වූ ඇය 2015 වසරේ දෙසැම්බර් මස 5 වනදා මියගිය බවට ලැබුනු තොරතුරකට අනුව ඇයගේ පුත්‍රයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දැනුම්දී තිබෙනවා.
ඒ අනුවයි සිරුර මෙරටට ගෙන ඒමට කටයුතු සැලසුම් කර ඇත්තේ.
කෙසේවෙතත් මරණයෙන් වසර කිහිපයකට පසුව ඊයේ දිනයේ මෙම කාන්තාවගේ සිරුර මෙරටට රැගෙන විත් තිබෙනවා.
මෙම මරණය සැක සහිත බවට ඥාතීන් ගුවන්තොටුපල පොලිසියට පැමිණිලි කර ඇති අතර අනතුරුව මරණ පරීක්ෂණ කටයුතු සඳහා සිරුර මීගමුව රෝහලට යොමුකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.