Gossips

20-20 පිටිය උණුසුම් කළ පාකිස්ථාන සුපර් ලීග් අවසන් ගැටුම

පාකිස්ථාන සුපර් ලීග් පන්දුවාර 20 තරඟාවලියේ අවසන් මහා තරඟය පාකිස්ථානයේ කරච්චි නුවරදී ඊයේ (25) පැවැත් වුණා.
ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම සහ පෙෂාවර් ශලමි කණ්ඩායම අතර පැවති මෙම තරඟය තියුණු තරඟයකින් අනතුරුව ජය ගත්තේ ඉස්ලාමාබාද් යුනයිටඩ් පිළයි.
ඉස්ලාමාබාද් කණ්ඩායම මෙම තරඟය ජය ගත්තේ කඩුලු 03කින්.
තරඟයේ කාසිය වාසිය දිනූ පෙෂාවර් කණ්ඩායම පළමුව පන්දුවට තීරණය කළ අතර නියමිත පන්දුවාර 20 තුලදී කඩුලු 09කට ඔවුන් රැස්කළ ලකුණු සංඛ්‍යාව 148ක්.
පෙෂාවර් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ එංගලන්ත ක්‍රීඩක ක්‍රිස් ජෝඩන් පන්දු 26කදී ලකුණු 36ක් රැස් කළ අතර ලියම් ඩෝසන් ලකුණු 33ක් ද, නොදැවී ක්‍රීඩා කළ වහබ් රියාස් ලකුණු 28ක් රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී ෂාදබ් ඛාන් කඩුලු 03ක් බිඳ දැමු අතර හුසේන් තලාත් සහ සමිත් පටෙල් කඩුලු 02 බැගින් බිඳ දැමුවා.
ලකුණු 149ක ජයග්‍රාහී ඉලක්කයක් කරා යාමට පිටියට පිවිසි ඉස්ලාමාබාද් ක්‍රීඩකයින් පන්දුවාර 16යි පන්දු 05ක් තුල කඩුලු 07ක් දැවී තිබියදී එම ඉලක්කය පසුකර ගියා.
සුපුරුදු ලෙස පිතිකරණයේ වගකීම මැනවින් හඳුනාගෙන අගනා ඉනිමක් ක්‍රීඩාකළ ඉස්ලාමාබාද් ආරම්භක පිතිකරු ලුක් රොන්චි පන්දු 26කදී ලකුණු 52ක් රැස් කළේ දැවැන්ත හයේ පහර 05ක් සහ හතරේ පහර 04ක් සමඟින්.
ඔහුට අනගි සහයක් ලබාදුන් සහිබ්සාදර් රැස් කළ ලකුණු සංඛ්‍යාව 44ක්.
ඉස්ලාමාබාද් කණ්ඩායම අවසානයේ ජයග්‍රහණය කරා රැගෙන ගිය අසිෆ් අලි සහ ෆහීම් අස්රාෆ් පිළිවලින් නොදැවී ලකුණු 26ක් සහ 06ක් ලබා ගත්තා.
පෙෂාවර් කණ්ඩාය වෙනුවෙන් හසන් අලී සහ වහබ් රියාස් ඉස්ලාමාබාද් කඩුලු දෙක බැගින් බිඳ දැමුවා.
පාකිස්ථාන සුපර් ලීග් පන්දුවාර 20 තරඟාවලියේ අවසන් මහා තරඟයේ වීරයා සහ තරඟාවලියේ වීරයා යන සම්මාන දෙකටම හිමිකම් කියන්නට ලුක් රොන්චි සමත් වුණා.
ශ්‍රී ලංකාවේ රොෂාන් මහානාම මෙම තරඟයේ තරඟ තීරක ලෙස කටයුතු කරනු ලැබුවා.
තරඟයේ විශේෂ අවස්ථා පහතින්.