Gossips

20-20 තරඟාවලි ජය පාකිස්තානයට

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවති විස්සයි විස්ස තරඟාවලිය තුනට බින්දුවක් ලෙස ජය ගැනීමට පාකිස්තානය ඊයේ (03) සමත් වුණා.
ඒ, ඊයේ (03) පැවැති අවසන් සහ තුන්වන විස්සයි විස්ස තරඟයත් කඩුලු 8කින් ජයග්‍රහණය කරමින්.
තරඟයේ පළමුව පන්දුවට පහර දුන් කොදෙව් ක්‍රීඩකයන් නියමිත පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 06ක් දැවී ලකුණු 153ක් රැස් කළා.
අනතුරුව පාකිස්තාන ක්‍රීඩකයන් පන්දු වාර 16යි පන්දු 05ක් තුළ කඩුලු 02ක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
මෙම තරඟයේදී පාකිස්ථානය වෙනුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක 17 හැවිරිදි ෂහීන් අෆ්රිඩී සහ කොදෙව් කණ්ඩායම වෙනුවෙන් තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩෲ මැකාති ජාත්‍යන්තර 20 – 20 වරම් හිමිකරගත්තා.
අවසන් තරඟයේ වීරයා සම්මානය පාකිස්ථානයේ ආරම්භක පිතිකරු ෆකාර් සමාන් හිමිකරගත් අතර තරඟාවලියේ වීරයා සම්මානය හිමිකර ගැනීමට තරඟාවලිය පුරා පිත්තෙන් දස්කම් දැක්වූ පාකිස්ථානයේ බාබර් අසාම් හිමිකරගනු ලැබුවා.
තරඟාවලියේ තරඟ තුන තුලදී බාබර් අසාම් රැස්කළ ලකුණු සංඛ්‍යාව 165ක්.
තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟ ලකුණු 143කින් ද දෙවන තරඟය ලකුණු 83කින් ද පකිස්ථානය ජය ගත්තා.
වසර 09කට පසු පාකිස්ථානයේ කරච්චි නුවරදී පැවති ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලිය මෙය වීම විශේෂත්වයක්.