Gossips

20 හැවිරිදි තරුණයා දියේ ගිලී අවසන් ගමන් යයි

කණ්ඩලම වැවේ දූපතකට පිහිනීමට ගිය තරුණයන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙක්.
ඔහු දඹුල්ල අතුපාරයාය ප්‍රදේශයේ සිය ඥාතියෙකුගේ නිවසකට පැමිණ සිටි අවස්ථාවකයි මෙලෙස අවසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ.
මියගොස් ඇති තරුණයා තවත් සිව්දෙනෙකු සමඟ වැව මැද පිහිටා ඇති දූපතකට යාමට ගත් උත්සාහයක් අතරතුරදී මෙලෙස දියේ ගිලී තිබෙනවා.
එම අවස්ථාවේ අනෙක් තරුණයන් ගොඩබිමට පිහිනා දිවිබේරාගැනීමට සමත්ව ඇති බවයි වාර්තා වන්නේ.
ඇවිදිමින් සහ පිහිනා යමින් ඔවුන් මෙම දූපතට ගමන්කිරීමට උත්සාහ ගෙන ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.
වැව ඉස්මත්තට පැමිණි අනෙක් තරුණයන් සිව්දෙනාගෙන් ඒ අසලින් ගමන්කළ කාන්තාවක් තොරතුරු විමසා පසුව මේ බව කන්ඩලම පොලිසියට දැනුම් දී තිබෙනවා.
පසුව දඹුල්ල පොලීසිය පොලිස් ජීවිතාරක්ෂක හා ජල ක්‍රීඩා සංගමයේ නිලධාරීන් ප්‍රදේශවාසීන් ධීවර සමිතියෙ නිලධාරීන් එක්ව මෙම තරුණයාගේ සිරුර සොයා පැය තුනක පමණ දැඩි සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
එහිදී ධීවරයන් විසින් මසුන් ඇල්ලීම සඳහා යොදාගන්නා දැලක් උපයෝගී කරගනිමිනුයි වැව් පත්ලේ තිබූ මියගිය තරුණයාගේ සිරුර ගොඩගෙන ඇත්තේ.
දඹුල්ල පොලීසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.