Gossips

20 වසරකට පෙර කාන්තාවක් දූෂණය කළ, දෙදෙනෙකුට තිස් වසරක සිර දඬුවම්

ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ බවට චෝදනා කරමින් 25 හැවිරිදි විවාහක දමිල කාන්තාවක් බලහත්කාරයෙන් රැගෙන ගොස් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධි චෝදනා ලැබ සිටි දෙදෙනෙකුට වසර 30 බැගින් වූ බරපතල සිර දඩුවම් ලබාදී තිබෙනවා.
අදාළ පුද්ගලයින් දෙදෙනා වරදකරුවන් කරමින් අනුරාධපුර මහාධිකරණය මෙම නියෝගය ඊයේ දිනයේදී ලබාදුන්නා.
සැකකරුවන්ට එරෙහිව අධි චෝදනා 3ක් ගොනු කර තිබූ අතර, අධි චෝදනා 3ට වසර 10 බැගින් මෙම තිස් අවුරුදු බරපතල වැඩ සහිත සිර දඩුවම නියම වූ බවයි හිරු අනුරාධපුර අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
එමෙන්ම පැමිණිලිකාර කාන්තාවට රුපියල් 50,000 බැගින් වෙන් වෙන් මුදල් වන්දි ගෙවන ලෙස ද විත්තිකරුවන්ට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළ අතර තවත් රුපියල් 4000 බැගින් වෙන් වෙන් දඩ මුදලක් ද ගෙවන ලෙස නියෝග කළා.
එමෙන්ම විත්තිකරුවන් දෙදෙනාට තවත් මාස 15ක ලිහිල් සිර දඩුවමකට යටත් කිරීමටයි විනිසුරුවරයා නියෝග කර ඇත්තේ.
අනුරාධපුර – දේවානම්පියතිස්සපුර නිරාවිය ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි සහ 68 හැවිරිදි දෙදෙනෙකුටයි වසර 30ක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම වී ඇත්තේ.
මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කර විත්තිකරුවන්ට දඩුවම් නියම කරන අවස්ථාවේ දෙවන විත්තිකරු අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහාධිකරණ විනිසුරුවරයා පොලීසියට නියෝග කර තිබුණා.
1998 වසරේ අගෝස්තු 21 වන දින හෝ ඊට ආසන්න දිනකදී නිරාවිය ප්‍රදේශයේදී මොවුන් මෙම සමූහ දූෂණය සිදුකර තිබූ අතර, ඔවුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කරනු ලැබුවා.
මෙම දූෂණයට ලක්වූ කාන්තාව නොමැතිව නඩුව විභාග කර එහි තීන්දුව මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් විසින් ප්‍රකාශයට පත් කිරීම ද විශේෂත්වයක්.