Gossips

20 ගැන ඒකාබද්ධය තවම තීරණයක් ගෙන නැහැ

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ගෙන එන 20 වන සංශෝධනය සම්බන්ධයෙන් අවශ්‍ය මොහොතේදී සුදුසු තීරණයකට එළඹෙන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
කෙසේ වෙතත්, 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථාව තුළ අන්තර්ගතව පවතිද්දී, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කිසිසේත් නිවැරදි නොවන බව ජාතික නිදහස් පෙරමුණ ඊයේ (20) කියා සිටියා.
නිවේදනයක් නිකුත් කරමින් එම පෙරමුණ සඳහන් කළේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ වහාම පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නම්, ඒකාබද්ධ විපක්ෂය ඊට එකඟ වන බවට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.
එවැනි තීරණයක් ගත හොත් ජාතික නිදහස් පෙරමුණ ඊට දැඩි ලෙස විරුද්ධ වන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
එහි වැඩිදුරටත් සඳහන් වන්නේ අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ඒමේ කොන්ත්‍රාත්තුව භාරගෙන ඇති ජනතා විමුක්ති පෙරමුණේ අරමුණ වන්නේ රටේ ඒකීයභාවය අහෝසි කිරීම බවයි.