Gossips

16යේ කණ්ඩායම තමා හමුවීමට ඉල්ලීමක් කර නැහැ – හිටපු ආරක්ෂක ලේකම්

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16යේ කණ්ඩායම තමන් හමුවීම සඳහා ඉල්ලීමක් කර නොමැති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
වෘත්තිකයින්, ව්‍යාපාරිකයින්, අධ්‍යාපනඥයින්, දේශපාලනඥයින් ඇතුළු සමාජයේ විවිධ පුද්ගලයින් තමා හමුවී සාකච්ඡා කිරීම සාමාන්‍ය දෙයක් වන නමුත්, මාධ්‍ය මගින් ප්‍රචාරය කළ ආකාරයේ නිළ හමුවක් අද (12) දිනයේ 16යේ කණ්ඩායම හා තමන් අතර සිදුනොවන බවයි නිවේදනයක් නිකුත් කරමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ.
අප මේ සම්බන්ධයෙන් නිදහස් පක්ෂ 16යේ කණ්ඩායමේ සාමාජික හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායකගෙන් ද විමසීමක් කළා.
ඔහු කියා සිටියේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් නිළ වශයෙන් තම කණ්ඩායම සාකච්ඡාවක් ඉල්ලා නොමැති බවයි.
එහෙත් හෙට (13) දිනයේ හිටපු නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාලගේ නිවසේදී ආණ්ඩුවෙන් ඉවත් වූ 16යේ කණ්ඩායම, හිටපු ආරක්ෂක ලේකම්වරයාව මුණ ගැසෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක වැඩිදුරටත් සඳහන් කළේ.