Gossips

16යේ කණ්ඩායම ඉදිරි මැතිවරණයේදී, පොහොට්ටුවෙන්

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනාම ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පොහොට්ටුව ලාංඡනය යටතේ තරඟ වදින බව එම කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ පොහොට්ටුවෙන් තරඟ කිරීම සඳහා අවස්ථාව ලබාදීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පොරොන්දු වූ බවයි.
ඒ අනුව ඉදිරි මැතිවරණයේදී සිය කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනාම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කරන අතර ඒ සඳහා වන සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර, මාතලේ ප්‍රදේශයේ අද (16) පැවැත්වෙන සම්මන්ත්‍රණයකදී 16යේ කණ්ඩායමේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට නියමිතයි.
ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායම තම ඉදිරි දේශපාලන අරමුණු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා රට පුරා සම්මන්ත්‍රණ මාලා ක්‍රියාත්මක කරනු ලබනවා.
එහි පළමු අදියර මාතර ප්‍රදේශයෙන් පසුගිය දා ආරම්භ කළ අතර, දෙවන සම්මන්ත්‍රණය මාතලේ දී අද පෙරවරු 10ට ආරම්භ වුණා.