Gossips

16යේ කණ්ඩායමට ජනපතිගෙන් විශේෂ අවසරයක් – මැයි දිනය ගැන එකඟතාවක් – අවසන් තීරණය මැයි 8

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් ලබන මස 8 වනදායින් පසුව පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැදවා තීන්දුවක් ගැනීමට ඊයේ රාත්‍රියේ පැවැති මධ්‍යම කාරක සභාවේදී තීරණය කර තිබෙනවා.
ජනාධිපතිවරයාගේ නිළ නිවසේ පැවැති මෙම මධ්‍යම කාරක සභා රැස්වීම රාත්‍රී 8ට පමණ ආරම්භ වී රාත්‍රී 10.30 දක්වා පැය දෙකහමාරකට ආසන්න කාලයක් පැවති බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු සඳහන් කළේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව ලබන මස 8 වනදාත්, 15 වනදාත් අතර දිනෙකදී රැස්වීමට ද ඊයේ තීරණය කෙරුණු බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලධාරී මණ්ඩලය ඇතුළුව පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් දින 45ක් ඇතුළත සිදුකිරීමට ද මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණය කර තිබෙනවා.
එම ප්‍රතිසංවිධාන කටයුතු සිදුකරන ආකාරය ලබන මස 8 වන දායින් පසුව පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී සාකච්ඡා කෙරෙනු ඇති.
මේ අතර, අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයට සහය දී ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂයේ 16 දෙනා ද මෙම මධ්‍යම කාරක සභා රැස්වීමට එක්ව තිබෙනවා.
එහිදී මෙම පිරිසට විපක්ෂයේ අසුන් ගැනීමට ජනාධිපතිවරයාගේ අවසරය හිමි වූ බවයි එක්සත් ජනතා නිදහස් සන්ධාන අමාත්‍ය මහින්ද අමරවීර සදහන් කළේ.
විපක්ෂයේ අසුන් ගත්ත ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා එහිදී ඉල්ලීමක් කර තිබෙනවා.
එමෙන්ම, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන නිදහස් පක්ෂ මැයි දින සැමරුමට සහභාගි වීමට ඇමතිධුර වලින් ඉවත්වු නිදහස් පක්ෂයේ 16දෙනාගේ කණ්ඩායම ඊයේ පැවැති මධ්‍යම කාරක සභාවේදී එකඟතාවයකට පැමිණියා.
මධ්‍යම කාරක සභා රැස්වීමට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක්ද පැවැත්වූ බවයි රාජ්‍ය ඇමතිනි ශ්‍රියාණි විජේවික්‍රම මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.