Gossips

1500 යේ පොහොර අද සිට වෙළඳපොළට – වැඩි මිලට විකුණන්නන්ට නීතිමය පියවර

පොහොර හිඟයක් නොමැති බවත්, එවැන්නක් ඇති කිරීමට හෝ මවාපෑමට උත්සහ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
විෂයභාර අමාත්‍ය දුමින්ද දිසානායකගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වුණේ රුපියල් 1500 ට වැඩි මුදලකට සහනාධාර පොහොර අලෙවි කරනු ලබන්නේ නම් ඒ පිළිබඳ ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ පාරිභෝගික සේවා අධිකාරියට දන්වන ලෙසයි.
එමෙන්ම එලෙස පොහොර අලෙවි කරන්නේ නම් 1920 හදිසි ඇමතුම් අංකයට හෝ 011 303 66 66 දුරකතන අංකයට දැනුම්දෙන ලෙසද අමාත්‍යාංශය ඉල්ලීමක් කරනවා.
රජයේ පොහොර සහනාධාර වැඩසටහන යටතේ රජයට අයත් ලංකා පොහොර සමාගමේ සහ කොමර්ෂල් පොහොර සමාගමේ අලෙවි නියෝජිතයින් මාර්ගයෙන් රුපියල් 1500ක සහනාධාර පොහොර ගොවීන්ට ලබාගත හැකියි.
හෙක්ටයාර 2 කට අඩුවෙන් වී වගා කරන ගොවීන් සඳහා රුපියල් 500 බැගින් වූ සහනාධාර පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් ලබාගත හැකි බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.
එමෙන්ම හෙක්ටයාර 2 කට වැඩියෙන් වී වගා කරනු ලබන ගොවීන් සහ අනෙකුත් භෝග වගාකරුවන් සඳහා යූරියා, ටී.එස්.පී., එම්. ඕ.පී. සහ එස්.ඒ. යන පොහොර වර්ග රුපියල් 1500 ක සහන මිලකට අද සිට ලබාගත හැකි බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියේ.