Gossips

118 ගැන තොරතුරු දෙන්න, ජනාධිපති ලේකම්, නීතිපති උපදෙස් පතයි

පූර්ණ බැඳුම්කර වාර්තාවේ තොරතුරු ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් තමන් නීතිපතිවරයාගෙන් උපදෙස් විමසා ඇති බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු පවසනවා.
මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ නීතිපතිවරයාගේ සහ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසර හිමි වන්නේ නම්, ඉදිරියේදී එම පූර්ණ වාර්තාව ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වන බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර තොරතුරු දැනගැනීමේ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් බැඳුම්කර වාර්තාවේ පූර්ණ පිටපතක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන්ද අදහස් දක්වමින් ජනාධිපති ලේකම්වරයා ඒ පිළිබඳව මෙලෙස අදහස් පළ කළා.
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන අර්ජුන් ඇලෝසියස්ට අයත් පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් හෝ ඊට අනුබද්ධ වෙනත් සමාගම්වලින් මුදල් ලබාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 118 දෙනාගේ නම් ලබාදෙන ලෙස කතානායකවරයා, ජනාධිපති ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබෙනවා.
කථානායක කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේ ඊයේ දිනයේ කතානායකවරයා මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි.
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ අඩංගු කරුණු මත අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් පිළිබඳව පසුගිය කාලසීමාව තුළ දැඩි කතාබහක් ඇතිවුණා.
පසුව කියැවුණේ මෙම පිරිස අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 118 දෙනෙකු සිටින බවයි.
දයාසිරි ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මිලියනයක චෙක්පතක් ලබාගැනීම සම්බන්ධයෙන් තමන්ට එල්ල වූ චෝදනාව පසුගියදා පාර්ලිමේන්තුවේදී පිළිගනු ලැබුවා.
මීට අමතරව දින කිහිපයකට පෙර අමාත්‍ය සරත් ෆොන්සේකා ද මැතිවරණ ව්‍යාපාරයේදී අර්ජුන් ඇලෝසියස් විසින් රුපියල් ලක්ෂයක මුදලක් තමන්ට ලබාදුන් බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකළා.
ඊයේ දිනය වනවිට අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබානොගත් බවට පාර්ලිමේන්තුව නියෝජනය කරන 13 දෙනෙකු ප්‍රකාශ කර තිබූ අතර, අද දිනයේදී අමාත්‍ය පාඨලී චම්පික රණවක, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා, අමාත්‍යවරුන් වන විජිත් විජයමුණි සොයිසා, අකිල විරාජ් කාරියවසම්, නවීන් දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන ද තමන් පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් හෝ ඊට සම්බන්ධ ආයතනවලින් මුදල් ලබාගෙන නොමැති බව සඳහන් කළා.
කෙසේ වෙතත්, පාර්ලිමේන්තුවේ ප්‍රධානියා ලෙස මන්ත්‍රීවරුන්ට එල්ල වන චෝදනාවක් සම්බන්ධයෙන් කතානායකවරයාට අදාළ නම් ලබාදෙන ලෙස ලිඛිත ඉල්ලීමක් යොමුකිරීමේ හැකියාව පවතිනවා.
ඒ අනුවයි ජනාධිපති ලේකම්වරයා වෙත මෙම මන්ත්‍රීවරුන් 118 දෙනාගේ නම් ලබාදෙන ලෙස කථානායක කරූ ජයසූරිය ලිඛිතව දන්වා ඇත්තේ.
මේ අතර, එළඹෙන පාර්ලිමේන්තු සතියේ ආරම්භක දිනයේදී මෙම නම් ලැයිස්තුව ඉදිරිපත් කර වංචාවට සම්බන්ධයක් නොමැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලමින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ද කතානායකවරයාට ඊයේ ලිපියක් යොමුකරනු ලැබුවා.