Gossips

‘‘වැල්ලේ සාරංග’’ මෝදරදී අල්ලදී රිමාන්ඩ් භාරයේ සිටින ‘‘මරාල සුරංග’’ ළඟ තිබී හමුවූ දේ

ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ කිහිපදෙනෙකු ඝාතනය කිරීම සඳහා රැගෙන ආ සයනයිඞ් කුප්පි දෙකක් සහ සිරින්ජර දෙකක් මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාරයේ සිටින රැඳවියෙකු වන සමන් පුෂ්පකුමාර හෙවත් ‘‘මරාල සුරංග’’ ළඟ තිබී සොයාගෙන තිබෙනවා.
ඒ, බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයට ලැබුනු තොරතුරක් මතයි.
බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය ඒ පිළිබඳව බන්ධනාගාර බුද්ධි ඒකකය දැනුම්වත් කර ඇති අතර, පසුව මෙම සයනයිඩ් කුප්පි සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.
මේ අතර කොළඹ ඇතුලු තදාසන්න ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකළ ගමගේ සාරංග ප්‍රදීප් හෙවත් වැල්ලේ සාරංග මෝදර පිහිටි ඔහුගේ නිවසේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත්තා.
එහිදී ඔහු ළඟ තිබූ රුපියල් ලක්ෂ 15 ක් පමණ වටිනා හෙරොයින් මිලිග්‍රෑම් 100 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 157 ක්, මෙන්ම කඩුවක්ද සොයාගත් බවයි විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙකු කියා සිටියේ.
වැල්ලේ සාරංග, මාකඳුරේ මධුෂ් සහ කංජිපානි ඉම්රාන් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන රූබන් නැමැත්තාගේ සමීපතමයෙක්.
එසේම පාතාල නායක මාකඳුරේ මධුෂ්, ඩුබායි හි සංවිධාන කරන ලද උපන් දින සාදයට සහභාගිවී යළි දිවයිනට පිටුවහල් කළ පසු ඊයේ කොළඹ අපරාධ කොට්ඨාශය භාරයට ගත් මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසර්ගෙන් පැය 24 ක කාලයක් රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කෙරෙනවා.
සැකකරු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.
පිටුවහල් කිරීමෙන් පසු මොහු සමඟ ඊයේ දිවයිනට පැමිණි අනෙක් පුද්ගලයා වන මොහොමඩ් මුෆාර් මොහොමඩ් ජබීර් නැමැත්තා ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව අද මුදාහැරුණා.
මේ අතර හෙරොයින් ජාවාරමට ආධාර අනුබල ලබාදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැණුනු හලාවත නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී ස්ටැන්ලි ලවුස් ප්‍රනාන්දු දින 5 ක් රඳවාගෙන ප්‍රශ්න කිරිමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට අවසර ලබාදුන්නා.
නාගරික මන්ත්‍රීවරයා සහ ඔහුගේ පුත්‍රයා මත්කුඩු ජාවාරමට සම්බන්ධ බවට මීගමුව අපරාධ විමර්ශණ ඒකකය තොරතුරු අනාවරණය කරනු ලැබුවේ පසුගිය මාර්තු 23 වනදා මීගමුව කටුවපිටිය ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් 8 ක ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදීයි.
එහිදී අදාල මත්කුඩු තොගය ලබාදුන්නේ නාගරික මන්ත්‍රීවරයා බවට සැකකරුවන් පාපොච්චාරණය කර තිබෙනවා.
එම අවස්ථාවේ මන්ත්‍රීවරයා සන්තකයේ තවත් හෙරොයින් කිලෝවකට අධික ප්‍රමාණයක් තිබී ඇති අතර ඒවා ඔහු නැවත රැගෙන ගිය බවටයි අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ.
පසුව සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශණයක් ආරම්භ කළ අතර අදාල නාගරික මන්ත්‍රීවරයා පොලිසිය මඟ හරිමින් සිටියදී ඊයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දංකොටුව නගරයේදීයි.
සැකකරු, පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දුගේ නිවසේ සිට පැමිණෙමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව ජාතික පුවත්පත් අද කරුණු අනාවරණ කර තිබුණා.
අප මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දුගෙන් විමසා සිටි අතර ඔහු කියා සිටියේ තමාගේ කාර්යාලයේදී ඔහුව අත්අඩංගුවට ගෙන නොමැති බවත්, දංකොටුව නගරයේදී ඔහුව අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි.
කෙසේ වෙතත්, 65 හැවිරිදි නාගරික මන්ත්‍රීවරයාගේ පුත්‍රයා මේ වනවිට සැගව සිටින අතර ඔහු සොයා විමර්ශනයක් ආරම්භ කර ඇති බව මීගමුව ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.

rnrnrn