Gossips

ෆේස් බුක් ගැන සාකච්ජා ඇරඹේ

අවහිර කර ඇති ෆේස්බුක් ප්‍රවේශය සම්බන්ධයෙන් එම සමාගමේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු අතර සාකච්ඡාවක් මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදියි.
සාකච්ඡාව සඳහා ෆේස්බුක් සමාගමේ නිලධාරීන් තුන්දෙනෙකු සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ නිලධාරීන් මෙන්ම පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ නිලධාරීන් ද එක්ව සිටින බව සඳහන්.
ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු ෆේස්බුක් ආයතනයේ නිලධාරීන් අද දිනයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද හමුවීමට නියමිතයි.
එහිදී ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ වෛරී සහ වර්ගවාදී ප්‍රකාශ පතුරුවා හැරීම වැළැක්වීම සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තවදුරටත් සාකච්ජාවට ලක්වනු ඇති.
මේ අතර ෆේස්බුක් ආයතනය සමග පවත්වන සාකච්ඡා සඳහා ආරාධනා නොකිරීම පිළිබඳව ශ්‍රී ලංකා ෆේස්බුක් සිංහල පරිවර්තන සමූහය විරෝධය පළ කරනවා.
එහි සභාපති රජිව් යසිරු කුරුවිටගේ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ 2014 වසරේ සිට ෆේස් බුක් සමාජ ජාලය සිංහල භාෂාවෙන් පරිශීලනය කිරීමට හැකිවන අයුරින් සකස් කරනු ලැබුවේ තම කණ්ඩායම බවයි.
මහනුවර ඇතිවූ කළහකාරී සිද්ධීන් සමග තාවකාලිකව අවහිර කර තිබූ වට්ස්ඇප් සහ වයිබර් සමාජ මාධ්‍ය මේ වනවිට යථා තත්ත්වයට පත්කර තිබෙනවා.
මේ අතර අන්තර්ජාලය ඔස්සේ සිදුවන ගණුදෙනු සඳහා ඉදිරියේදී නව නීති සකස් කරන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.
අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී පාරිභෝගිකයින්ගෙන් ලැබුණු පැමිණිලි සැළකිල්ලට ගෙන මෙම නීති සකස් කෙරෙන බවයි එහි උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ.
ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් කොළඹදී අද ආරම්භ වූ අතර එහිදී ජනතා අදහස් විමසීමට පාරිභෝගික සේවා අධිකාරිය සැලසුම් කර තිබෙනවා.