Gossips

ෆේස්බුක් සමාව අයදී

ලොව පුරා ෆේස්බුක් සබඳතා බිඳ වැටීම සම්බන්ධයෙන් එම සමාගම කණගාටුව පළ කර තිබෙනවා.
එම සමාගමේ නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔවුන් සදහන් කර ඇත්තේ මෙය සයිබර් ප්‍රහාරයක් නොවන බවයි.
හැකි ඉක්මනින් මෙම තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි ෆේස්බුක් සමාගම එහි වැඩිදුරටත් දක්වා තිබුණේ.
කෙසේ වෙතත්, මෙලෙස ෆේස්බුක් සබදතා බිද වැටීමට හේතුව මෙතෙක් පැහැදිලි කිරීමට එම සමාගම සමත් වී නැහැ.
2008 වසරේදී ද මෙවැනි ෆේස්බුක් සබදතා බිද වැටීමක් සිදුවුණා.
මේ වනවිට ලොව වටා බිලියන 2 යි දශම 3 ක පරිශීලකයින් පිරිසක් ෆේස්බුක් භාවිතා කරන අතර, ඒ අතරින් ඇමරිකාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව යන රටවල පරිශීලකයින් විශාල ප්‍රමාණයක් මෙම බිද වැටීම හේතුවෙන් අපහසුතාවට පත්ව තිබෙනවා.
එසේම, බිද වැටුණු මැසෙන්ජර්, වට්ස්ඇප් සහ ඉන්ස්ටර්ග්‍රෑම් යන සබදතා ද මෙතෙක් යථා තත්ත්වයට පත් කර නොමැති බවයි වාර්තා වන්නේ.
හිරු ප්‍රවෘත්ති අංශය මෙම බිද වැටීම් ශ්‍රී ලංකාවට බලපාන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් විදුලි සංදේශන නියාමන කොමිසමේ උසස් නිලධාරිනියකගෙන් විමසීමක් කළ අතර එහිදී ඇය කියා සිටියේ අදාළ සබදතා පිළිබදව වගකීමක් තම ආයතනයට නොමැති බවයි.
එමෙන්ම, පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රකාශයෙකු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ මෙම බිද වැටීමෙන් ශ්‍රී ලංකාවේ පරිශීලකයන්ට දැඩි බලපෑමක් සිදුවී නොමැති බවයි.
එසේම, එය ආරක්ෂක ගැටලූවක් නොවන බැවින් ඊට මැදිහත්වීමට හෝ ප්‍රකාශ නිකුත් කිරීමට හැකියාවක් නොමැති බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියා.
මෙලෙස ෆේස්බුක්, මැසෙන්ජර්, වට්ස්ඇප් සහ ඉන්ස්ටර්ග්‍රෑම් බිද වැටීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය විද්‍යා ලේඛක සහ මාධ්‍ය විශ්ලේෂක නාලක ගුණවර්ධනගෙන් විමසීමක් කළා.
එහිදී ඔහු කියා සිටියේ මෙම බිද වැටීම් වලින් තාක්ෂණික අපහසුතා මතුවුවත්, එම ගිණුම් අත්හිටුවීමට හෝ වෙනත් පියවර ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.