ඇමරිකානු ජනාධිපතිවරණය සමයේ කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම විසින් දත්ත එක්රැස් කිරීම හේතුවෙන් ෆේස් බුක් පරිශීලකයින් මිලියන 87 කට බලපෑම් එල්ල වී ඇති බව නවතම දත්ත අනාවරණ කර තිබෙනවා.
මීට පෙර එය සටහන් වූයේ මිලියන 50 ක් ලෙසයි.
ලබන සතිය වනවිට ෆේස් බුක් සමාගම විසින් එලෙස දත්ත පිටවූ පුද්ගලයින්ට ඒ පිළිබද දැනුම් දීමට කටයුතු කරන සමාගමේ ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් පවසනවා.
මේ අතර මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරෙහිව ප්රචාරක ව්‍යාපාරයක් මෙහෙය වීමට ෆේස්බුක් සමාජ මාධ්‍යයේ මෙවලම් යොදාගෙන ඇතැයි එහි නිර්මාතෘ මාක් සකබර්ග් පවසනවා.
වොක්ස් නමැති ප්රවෘත්ති වෙබ් අඩවියට සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු කියා සිටියේ කලාපය තුළ හානිකර කටයුතු සඳහා ෆේස්බුක් යොදාගෙන ඇති බවයි.
ඒ හරහා සංවේදී කරුණු පළ කිරීම, පාර්ශවයන් අතර ගැටුම් ඇවිලීමට හේතු වී ඇති බවත්, මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම්වරුන් සහ එරට බෞද්ධ ජනතාව අතර ගැටුම් ඇතිවීමට එය හේතුවක් වූ බවත් සකබර්ග් වැඩිදුරටත් කියා සිටියා.
ෆේස්බුක් සමාජ මාධ්‍යයේ අඩු ලුහුඩුකම් මකා ගැනීමට තවත් වසර කිහිපයක් ගත විය හැකි බවයි ඔහු අවධාරණය කළේ.
එසේම තම පරිශීලකයින්ගේ දත්ත ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් පියවරක් ගෙන නොමැති බවට ෆේස්බුක් සමාගමට එල්ලවූ චෝදනාවට එහි නිර්මාතෘ මාක් සකබර්ග් වරද පිලිගැනීමත් සමඟ ඒ පිළිබඳව ලොවපුරා විශේෂ අවධානය යොමුවූවා.
ගාඩියන් සහ නිව්යෝක් ටයිම්ස් පුවත්පත් වාර්තා කර තිබුණේ පෞද්ගලික සමාගමක් ෆේස්බුක් හරහා එරට දේශපාලනඥයින්ගේ සහ තවත් පුද්ගලයින්ගේ තොරතුරු ග්‍රහණය කරගෙන ඇති බවයි.
අදාළ තොරතුරු 2016 වසරේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට උපකාරි වන ලෙස භාවිත කරන්නට ඇති බවට ද මත පළ වුණා.
ඒ අනුවයි මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා ෆේස්බුක් නිර්මාතෘවරයාට ඇමරිකානු සෙනෙට් මණ්ඩලය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණේ.