Gossips

ෆෙඩරල් අවශ්‍ය බව දෙමල සන්ධානයේ හවුල්කාරී පක්ෂයකින් ප්‍රකාශයක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට පසුගියදා ඉදිරිපත් කෙරුණු ව්‍යවස්ථා යෝජනාවලිය ප්‍රතික්ෂේප කරන බව දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ටෙලෝ සංවිධානය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් සහ ලේකම් එන්. ශ්‍රීකාන්තා පෙන්වා දෙන්නේ එකම රටක් තුළ දීර්ඝ කාලින දේශපාලන විසඳුමක් ප්‍රජාතන්ත්‍රවාදීව ලබාගත යුතු බව තම අදහස බවයි.
දේශපාලන විසඳුම යනු උතුර සහ නැගෙනහිරට ස්වයං පාලනයක් ලබාදීම වියයුතු බවද ටෙලෝ සංවිධානය පවසනවා. මේ අනුව තමන්ට ෆෙඩරල් ක්‍රමයක් තුළ දේශපාලන විසඳුමක් අවශ්‍ය වී ඇති බවයි එම සංවිධානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
නව ව්‍යවස්ථා යෝජනාවලිය තුළ ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙස මෙන්ම ඔරුමිත්තනාඩු වශයෙන් ද හඳුන්වා දී තිබෙනවා. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදිය යුතු අතර, සියළු ආගම්වල අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බව ද එහි සඳහන්.
මේ අනුව ඒකීය රාජ්‍ය සංකල්පය තවදුරටත් පවත්වාගෙන යාමට නව ව්‍යවස්ථා යෝජනාවලියෙන් යෝජනා කර ඇති බවයි ටෙලෝ සංවිධානය සිය නිවේදනයෙන් දක්වා ඇත්තේ.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලියට අනුව පාර්ලිමේන්තුව මන්ත්‍රී මණ්ඩල දෙකකින් සමන්විත අතර එහි සාමාජික සංඛ්‍යාව 233 දක්වා ඉහළ නංවා තිබෙනවා.
දෙවන මන්ත්‍රී මණ්ඩලය සඳහා මන්ත්‍රීවරුන් 55 දෙනෙකු ඇතුළත් වන අතර ඔවුන් පත් කිරීම මධ්‍යම රජය හා පළාත් සභාව විසින් සිදුකිරීමට නියමිතයි. ටෙලෝ සංවිධානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ඒ තුළින් ද ඒකීය රාජ්‍ය සංකල්පය තවත් බලවත් කිරීමක් සිදුවන බවයි.
කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පසුගියදා ප්‍රකාශ කළේ තම සන්ධානයට ෆෙඩරල් ක්‍රමයක් අවශ්‍ය නොවන බවයි.