Gossips

ෆ්ලයි ඩුබායි මත්තල හැරයයි

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලට මෙතෙක් පැමිණි එකම ජාත්‍යන්තර ගුවන් සේවය වන ෆ්ලයි ඩුබායි, නොවැම්බර් දක්වා සිය ගුවන් ගමන් අත්හිටුවා තිබෙනවා.
ප්‍රවාහන හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සදහන් කළේ ගුවන් මගීන්ගේ පවතින හිගය හේතුවෙන් ඔවුන් මෙම තීරණය ගෙන ඇති බවයි.
මේ අනුව, අද (08) උදෑසන පැමිණීමට නියමිතව තිබු ෆ්ලයි ඩුබායි මගී යානය නොපැමිණි බව හිරු වාර්තාකරු සදහන් කළා.
ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් මගී ගුවන් යානා ඊයේ දක්වා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත ක්‍රියාත්මක වූ අතර, දිනකට ගුවන් මගීන් 50 දෙනෙකු පමණ එමගින් ගුවන් ගමන් පහසුකම් ලබා ගත් බව සදහන්.
විශේෂයෙන් යාල, අම්පාර, පොතුවිල් සහ අක්කරෙයිපත්තු වැනි ප්‍රදේශ වෙත යාම සදහා සංචාරකයන් මත්තල ගුවන්තොටුපල යොදා ගත් බව ගුවන්තොටුපල සේවකයන් ප්‍රකාශ කළා.
දේශීය වශයෙන් මාතර, ගාල්ල, වැලිගම ප්‍රදේශවල ව්‍යාපාරිකයන් සහ ඩුබායිහි සේවය කරන ශ්‍රී ලාංකිකයන් පවා මෙම ගුවන් සේවයට හුරු වී තිබූ බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.