Gossips

හොරණ රබර් කම්හලේ රසායනාගාර පාලකවරිය අත්අඩංගුවට

හොරණ – බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් සැකසුම් කර්මාන්තශාලාවේ විෂ වායුවක් ආඝ්‍රාණය වීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි ජ්‍යෙෂ්ඨ රසායනාගාර පාලකවරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද පෙරවරුවේ ඇය හොරණ පොලිස් ස්ථානය වෙත කැදවා පැය 3කට ආසන්න කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
හොරණ – දික්හේනපුර ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි මෙම ජ්‍යෙෂ්ඨ රසායනාගාර පාලකවරිය හෙට හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
පෙරේදා දිනයේ දී සිදුවූ මෙම සිද්ධියට එම කර්මාන්තශාලාවේ කළමනාකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 25 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඔහු පෙරේදා පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ කර්මාන්ත ශාලාවට අවශ්‍ය ආරක්ෂක විධිවිධාන පැහැර හැරීම හා අපරීක්ෂාකාරී ලෙස කටයුතු කිරීම යන චෝදනා යටතේයි.
මේ අතර, අදාළ කර්මාන්තශාලාවේ පාලන අධිකාරියට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර ප්‍රකාශ කළා.
සිද්ධියට අදාළව මූලික විමර්ශන වාර්තා තමන් වෙත ලැබී ඇති බවත්, ඔහු කියා සිටියා.
එමෙන්ම එහි පාලන අධිකාරියට කර්මාන්තශාලාව තුළ ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙස අවස්ථා කිහිපයකදී උපදෙස් ලබාදුන්නත්, ඒවා පිළිපැද නොමැති බවයි කම්කරු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.