Gossips

හෙරොයින් සමඟ ජාඇල දී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට (ඡායාරූප)

හෙරොයින් කිලෝග්‍රෑම් 16 ඇතුළු මත්ද්‍රව්‍ය කිලෝ 21 ක් සමඟ ජා-ඇල – දකුණු නිවන්දම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා දින 7ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ලබා ගැනීමට අපේක්ෂා කරන බව පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ සැකකරුවන් සතුව තිබී රිවෝල්වර 4 ක්, ජංගම දුරකථන 12ක් ද සොයා ගත් බවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මෙම සැකකරුවන් පුද්ගල ඝාතන කිහිපයකට ද සම්බන්ධ බවයි.
වත්තල හේකිත්ත ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම, පිටකොටුව ප්‍රදේශයේදී කොළඹ නාගරික මන්ත්‍රීවරයෙකු ඝාතනයට මෙන්ම වේල්ලවීදිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනයට තැත් කිරීමට ද ඔවුන් සම්බන්ධ බවටයි අනාවරණ වී ඇත්තේ.
සැකකරුවන් සමග අත්අඩංගුවට ගත් මෝටර් රථය මොරගහහේන ප්‍රදේශයේ රථ වාහන කුලියට ලබාදෙන ආයතනයකින් ලබාගත් එකක් වන අතර එහි පැහැය ද සැකකරුවන් විසින් වෙනස්කර ඇතැයි පොලිසිය සඳහන් කළා.
මෙම පුද්ගලයන් රැඳී සිටී ජා ඇල නිවසේ තිබී ජීව උණ්ඩ 83 ක්, ව්‍යාජ අංක තහඩු 7 ක්, මුදල් ගණින යන්ත්‍රයක්, විද්‍යුත් තරාදි 4 ක් මෙන්ම ජංගම දුරකථන 12 ක් සොයා ගැනුනා.
ඊයේ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ මෙහෙයුමේ දී සැකකරුවන් අත්අඩංගුවට පත්වන විට එහි සිටි තරුණියන් දෙදෙනා සංක නැමති සැකකරුගේ සොහොයුරිය සහ පෙම්වතිය බවටයි අනාවරණ වී ඇත්තේ.
සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය වැඩිදුර විමර්ශණ සිදු කරනවා.