Gossips

හෙද වර්ජනයෙන් රෝහල් කටයුතුවලට බාධා

දිවයින පුරා රජයේ රෝහල්වල හෙද හෙදියන් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝහල් කිහිපයක වැඩ කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.
හෙද සේවයට බලපාන ගැටළු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු පාලන අධිකාරිය විසදුම් ලබාදීමට අපොහොසත් බව පවසමිනුයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ප්‍රකාශයට පත් කළේ.
මේ අතර, කොළඹ ජාතික රෝහලේ වාට්ටුවල කටයුතුවලට ද මේ වන විට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මාතර මහරෝහලේ වැඩ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බවයි රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය මල්කාන්ති මැදිවක කියා සිටියේ.
මේ අතර කරාපිටිය ශික්ෂණ රෝහලේ ද ඇතැම් වැඩ කටයුතුවලට හෙද වර්ජනය හේතුවෙන් බාධා එල්ල වී තිබෙනවා.
කෙසේ වෙතත්, අනුරාධපුර මහරෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය දුලාන් සමරවීර කියා සිටියේ රෝහලේ වැඩ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බවයි.
මහනුවර මහරෝහලේ ද හෙද වර්ජනය ක්‍රියාත්මක කෙරෙනවා.
රෝහලේ වැඩ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යාමට මේ වන විටත් පියවරගෙන ඇති බවයි එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නිශ්ශංක විජේවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
මේ අතර, මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් වතුකරයේ රෝහල්වල දෛනික සේවා කටයුතුවලට බලපෑමක් එල්ල වී නොමැති බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.