රාගම පොලිස් වසමේ ගණේමුල්ල, මැද්දෙගොඩ ප්‍රදේශයේ නිවෙසක් තුළ සිය සැමියා විසින් තියුණු ආයුධවලින් අමානුෂික ලෙස පහරදී සිය බිරිය වූ කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක හෙද නිලධාරිනියක ඝාතනය කර තිබෙනවා.
දෙදරු මවක් වන ඇය ඝාතනය කළ සැමියා රාගම පොලිසියට භාර වී ඇතැයිද පොලිසිය පවසයි.
රාගම පොලිසිය වෙත පැමිණි පුද්ගලයකු තමන් සිය බිරිය ඝාතනය කර නිවෙසේ දමා ආ බවත් පොලිසියට භාර වීමට පැමිණි බවත් පවසා තිබෙනවා.
ලද තොරතුරුවලට අනුව සැකකරුගේ නිවෙස පිහිටි ගණේමුල්ල මැද්දෙගොඩ නිවෙස වෙත ගිය රාගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.කේ. හෙට්ටිආරච්චි මහතා සහ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කැලුම් බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන්ට දෙදරු මවක් වූ ලේල්වල ගමගේ චන්ද්‍රිකා දමයන්ති නමැති 35 හැවිරිදි කාන්තාව ලේ ගලන තුවාල සහිතව නිවෙසේ වැටී සිටියදී හමුවී තිබෙන බවත් සදහන්.
ගිලන් රථයක් ගෙන්වා තුවාලකාරිය රාගම රෝහලට පිටත් කර ඇති අතර රෝහලට ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිට ඇති බව වෛද්‍යවරයා සිරුර පරීක්ෂා කිරීමෙන් පසුව පවසා තිබෙනවා.
පොලිසියට භාර වූ 35 හැවිරිදි සැකකරු මියගිය කාන්තාවගේ විවාහක පුරුෂයා වන බවත් කාන්තාව කොළඹ පෞද්ගලික රෝහලක හෙද නිලධාරිනියක ලෙස සේවය කර ඇති බවත් ඇය සිය සැමියාට රහසින් බිරිද සේවය කල රෝහලේ වෛද්‍ය මහාචාර්යවරයෙක් සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවත් සදහන්.
මෙම සම්බන්ධය ගැන සැමියා දැනගත් පසුව එය නවතා දමන ලෙස කිහිප වතාවක් අවවාධ කර ඇති බවත් පැවසේ.
නමුත් සැමියාගේ අවවාද නොතකා දිගටම එම සම්බන්ධය පවත්වාගෙන ගොස් ඇති බවත් ඇයව ඝාතනය කළ දින ඇය අනියම් පෙම්වතා සමග ලැගුම්හලක ඉන්නා බව කිසිවෙකු විසින් ඇමතුමක් ලබා දී සැමියා දැනුවත් කිරීමෙන් ඔහු ඊට උරණ වී මෙම ඝාතනය සිදු කර ඇති බවත් පැවසේ.
සිද්ධිය වූ ස්ථානයට පැමිණි මීගමුව අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත් කරුණාදාස ගමගේ මහතා විසින් මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමෙන් පසු අධිකරණ වෛද්‍ය පරීක්ෂණය පැවැත්වීම පිණිස දේහය රාගම රෝහල් මෘත ශරීරාගාරයට භාරදීමට නියෝග කර තිබෙනවා.