Gossips

හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය වර්ජනයෙන් රෝහල්වලට බාධා

හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය ආරම්භ කර ඇති සංකේත වර්ජනය හේතුවෙන් කොළඹ ජාතික රෝහල ඇතුලු දිවයින පුරා රෝහල් රැසක දෛනික කටයුතුවලට බාධා එල්ලවී තිබෙනවා.
වෘත්තීය සමිති 16ක් අද පෙරවරු 07 සිට හෙට පෙරවරු 8 දක්වා පැය 25 ක වර්ජනයක් ආරම්භ කරනු ලැබුවේ උසස්වීම් සහ වැටුප් විෂමතා ඇතුළු කරුණු 10ක් මුල් කර ගනිමින්.
වර්ජනය හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබූ සායන කටයුතුවලට බාධා එල්ලවූ බව එහි තොරතුරු මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.
එසේම කළුබෝවිල, අනුරාධපුරය, කළුතර – නාගොඩ සහ ගාල්ල – කරාපිටිය රෝහලවල කටයුතුවලටද වර්ජනයෙන් බාධා එල්ලවූ බවයි රෝහල් බලධාරීන් කියා සිටියේ.
කෙසේ වෙතත් වර්ජනය සාර්ථක බව හෙද පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය කියා සිටියා.
වර්ජනයෙන් රෝගීන්ට ඇතිවන අපහසුතා අවම කිරීමට පියවර ගෙන ඇති බවයි ඒ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ.