Gossips

හෙට සිට වැසි අඩුවන ලකුණු

පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් හෙට දිනයේ සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කළේ අද දිනයේදීත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකි බවයි.
දිවයිනට බලපා ඇති අධික වැසි හේතුවෙන් මේ වනවිට දිස්ත්‍රික්ක 13 ක පවුල් 7916 ක පුද්ගලයින් 27,949 කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටින බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.
එසේම, කළුතර, නුවරඑළිය හා මාතලේ යන දිස්ත්‍රික්ක සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නායයාමේ අනතුරු ඇඟවීම ද තවදුරටත් ක්‍රියාත්මකයි.
අධික වර්ෂාපතනයත් සමඟ මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ජලාශවල ජල මට්ටම් ඉහළ ගොස් ඇති අතර, මාර්ග රැසක් ජලයෙන් යටව පවතිනවා.
මේ අතර, අධික වැසි සමඟ පොළොන්නරුව, තඹලවැව වාන් මට්ටමට පැමිණ ඇති බව සඳහන්.
පොළොන්නරුව පූජා භූමියට අයත්, ශිව දේවාලයේ අංක 01 බැම්ම ගැලවී ගොස් ඇති අතර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව කාර්යාලයේ නිලධාරින් හා මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරින් එක්ව එම ගල් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.