Gossips

හෙට සිට දුම්රිය, වර්ජනයකට සැරසෙයි

හෙට (26) මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක දුම්රිය වර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.
දුම්රිය ශ්‍රේණි විෂමතා ගැටළු කිහිපයක් මුල් කර ගනිමිනුයි ඔවුන් මෙලෙස වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත්තේ.
වර්ජනය සඳහා එන්ජින් රියදුරන්, නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන්, පාලක සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරණ සේවාවලට අයත් නිලධාරීන් එක්වන බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ කියා සිටියේ.
මේ අතර, දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ නියාමකවරුන් අතර පවතින ගැටළුවක් හේතුවෙන් අඩාලව තිබූ දුම්රිය මගින් පාර්සල් ප්‍රවාහනය කිරීමේ කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත්ව තිබෙනවා.
දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ නියාමකවරුන් අතර පවතින ගැටළුව සම්බන්ධයෙන් ඊයේ (24) ප්‍රවාහන බලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවති අතර එහිදී අදාළ ගැටළුවලට විසදුම් ලබාදීමට කමිටුවක් පත් කරනු ලැබුවා.
දෙපාර්ශවය අතර පැවති ගැටළුව හේතුවෙන් දිවයින පුරා දුම්රිය ස්ථානවල පාර්සල් 5000කට වැඩි සංඛ්‍යාවක් ගොඩගැසී තිබූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.