Gossips

හෙට සෑම නිවසකම බෞද්ධ කොඩිය ඔසවන්නැයි රජයෙන් ඉල්ලීමක්

ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරෙන හෙට දිනයේ රාජ්‍ය ආයතන, විහාරස්ථාන සහ නිවෙස්වල බෞද්ධ කොඩිය ප්‍රදර්ශනය කරන්නැයි රජය ඉල්ලීමක් කරනවා.
ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ ජාතික මහෝත්සවය මහා සංඝරත්නයේ සහ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරුවේ මාතලේ අලූවිහාරයේ දී පැවැත් වීමට නියමිතයි.
බුදුදහම ලෝකවාසී ජනතාවටත්, අනාගත පරපුරටත් නිවැරදි ලෙස ආරක්ෂා කොට පවත්වාගෙන යාමේ අරමුණින් මහා සංඝරත්නයේ උපදෙස් සහ මගපෙන්වීම මතයි ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් මෙම කටයුතු සිදු කෙරෙන්නේ.
තෙවැනි ධර්ම සංඝායනාවේ දී සූත්‍ර පිටකය, විනය පිටකය සහ අභිධර්ම පිටකය වශයෙන් පූර්ණත්වයට පත් ථෙරවාදි ත්‍රිපිටකය ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේ දී මහින්දාගමනයේ ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවට උරුම වූ අතර, මෙසේ උරුම වූ සම්බුදු දහම රාජ්‍ය ගෞරවය ලබමින් ශතවර්ෂ ගණනාවක් ශ්‍රී ලංකාවේ පෝෂණය වී තිබෙනවා.
මහ රහතන්වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් ශත වර්ෂ ගණනාවක් පුරා විවිධ අභියෝග මැද සුරක්ෂිතව රැකගෙන ආ ත්‍රිපිටකය ලෝකයේ පළමුවරට තල්පත්වල ලේඛනාරූඪ කරන ලද්දේ ක්‍රිස්තු වර්ෂ පළවැනි සියවසේ මාතලේ අලූවිහාරයේ දී බව සදහන්.
එම ඓතිහාසික අවස්ථාවට පසුව වර්ෂ 1956 දී විශේෂ ව්‍යාපෘතියක් ලෙස ත්‍රිපිටකය පූර්ණ ග්‍රන්ථාවලියක් ලෙස මුද්‍රණය කෙරුණු අතර ඉන් අනතුරුව එළැඹෙන ඓතිහාසික වැදගත්ම අවස්ථාව මෙයයි.
විනයගරුක මෙන්ම ඥානයෙන් පිරිපුන් ශික්ෂිත සමාජයක් සදහා ත්‍රිපිටකයේ බලපෑම බෙහෙවින් ඉවහල් වන අතර අද දවසේ ලංකාවේ අප සතුව ඇති පාලි ත්‍රිපිටකය මේ වන විට ලෝකයේ සිදු කර ඇති ශාස්ත්‍රීය පර්යේෂණවලට අනුව මුල් බුදු දහම විශ්වසනීය ලෙස නියෝජනය කරන්නක්.
මෙවන් මහගු උරුමයක් වන ත්‍රිපිටකය සම්බන්ධයෙන් එකිනෙක කණ්ඩායම් හා පුද්ගලයන් සිදු කරනු ලබන විකෘති විවරණ හේතුවෙන් බුදු දහම අවභාවිත වීම වැළැක්වීමේ උදාරතර අරමුණින් යුතුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මගපෙන්වීමෙන් මෙම මහගු පුණ්‍ය කර්මය සිදු කෙරෙනවා.
දෙදහසකට අධික ස්වාමීන් වහන්සේලා පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම පුණ්‍ය මහෝත්සවයට සමගාමී ව දිවයින පුරා විහාරස්ථානවල දී ආගමික වතාවත් සංවිධානය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.