Gossips

හෙට රැස්වීම ගැන සාකච්ඡාවට, ඒකාබද්ධයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වේ

කොළඹ දී හෙට පැවැත්වීමට නියමිත ජන බලය කොළඹට විරෝධතා ව්‍යාපාරය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ වන විට විශේෂ සාකච්ඡාවක් ආරම්භ කර තිබෙනවා.
ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි. එහිදී මෙම විරෝධතා ව්‍යාපාරය පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ.
මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් තවත් තීරණාත්මක සාකච්ඡාවක් පස්වරු 4ට හිටපු ජනාධිපතිවරයාගේ නිළ නිවසේදී පැවැත්වෙනවා.
ඊට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් එක්වීමට නියමිතයි.
මෙම සාකච්ඡාවේදී හෙට විරෝධතා රැළිය පවත්වන ආකාරය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙනු ඇති.
එමෙන්ම එය පවත්වන ස්ථානය පිළිබදව ද මෙහිදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ.
එමෙන්ම හෙට පැවැත්වෙන ජන බලය කොළඹට විරෝධතා රැළියට පසුගිය දා ආණ්ඩුවෙන් ඉවත් වූ 16යේ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් 15 දෙනෙකුම සහභාගි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක සඳහන් කළා.
මේ අතර, විරෝධතා රැළිය හේතුවෙන් විශේෂ ස්ථාන ලෙස නම් කර ඇති පාර්ලිමේන්තුව, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය, පොලිස් මූලස්ථානය ඇතුළු ස්ථාන කිහිපයකට ආරක්ෂාව තර කිරීමට රජය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
හෙට පැවැත්වෙන විරෝධතා රැළිය පැවැත්වෙන අවස්ථාවේ යොදවා ඇති ආරක්ෂක විධි විධාන පිළිබදව පොලිස්පති පූජිත් ජයසුන්දර මෙලෙස අදහස් පළ කළා.