Gossips

හෙට දිනයේ උණුසුම් කාලගුණය ගැන වැඩි අවධානයකින් සිටින්න – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදයක්

උතුර, උතුර මැද, නැගෙනහිර, ඌව සහ වයඹ යන පළාත්වලට මෙන්ම මාතලේ, හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට හෙට දිනයේදී බලපෑ හැකි උණුසුම් කාලගුණය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.
වායුගෝලීය අර්ද්‍රතාව සහ උපරිම උෂ්ණත්වය හේතුවෙන් මිනිස් සිරුරට බලපෑම් ඇතිවිය හැකි බැවින් විශේෂයෙන් කුඩා ළමයින් සහ වයස්ගත පුද්ගලයන් උණුසුමට නිරාවරණය වීමෙන් වැළකිය යුතු බවයි එමඟින් පෙන්වා දෙන්නේ.
මේ නිසා එවැනි පුද්ගලයන් අධික වෙහෙසකාරී කටයුතුවලින් ඉවත්වී සෙවණ ඇති ස්ථානවල රැඳී සිටිය යුතු බවත්, ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
පොළාන්නරුව දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක වැඩි අවධානයක් යොමු කළ යුතු මට්ටම දක්වා උණුසුම වැඩිවිය හැකි බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
වැඩි වේලාවක් උණුසුම් කාලගුණයට නිරාවරණය වීම සහ ක්‍රියාකාරකම්වල නිරතවීම තුලින් තෙහෙට්ටු තත්වයක් ඇතිවිය හැකියි.
තවදුරටත් ක්‍රියාකාරකම්වල නිරතවීම තුලින් විජලනය සහ ලවණ ඉවත්වීම හේතුවෙන් ඇතිවන මස්පිඩු පෙරලීම ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
වැඩ බිම් තුල සේවය කරන පුද්ගලයන් ප්‍රමාණවත් ලෙසට ජලය පානය කළ යුතු අතර සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසටයි දැනුම් දෙන්නේ.
නිවෙස් තුල සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳ සැලකිලිමත් වන ලෙසට දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
වාහන තුල කුඩා ළමුන් තනිව රඳවා නොයන ලෙසට ද දැනුම් දෙනවා.
එළිමහනේ සිටියදී අධික වෙහෙසකාරී කටයුතු සීමා කළ යුතු අතර සෙවන ඇති ස්ථානවල රැඳිය යුතුයි.
එමෙන්ම ප්‍රමාණවත් ලෙසට ජලය පානය කරන ලෙසට ද දැනුම් දෙනවා.
මීට අමතරව සෞඛ්‍ය අමාත්‍යංශය මගින් මේ පිළිබඳ නිකුත් කරන නිවේදන පිළිබඳ අවධානය යොමු කරන ලෙසටයි ජනතාවට දැනුම් දෙන්නේ.