Gossips

හෙට උදෑසන තෙක් වෛද්‍යවරුන් වර්ජනයේ – රෝහල් කටයුතු රැසකට තවමත් බාධා

ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළඳ ගිවිසුමට විරෝධය පළ කිරීම සහ තවත් ඉල්ලීම් 10ක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (03) පෙරවරුවේ 8 සිට ආරම්භ කළ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය හෙට (04) පෙරවරු 8 දක්වා ක්‍රියාත්මකයි.
වර්ජනය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල රෝහල්වලට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවකට පත්වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
මේ අතර, කොළඹ අද (03) පැවැති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ කියා සිටියේ අදාළ ඉල්ලීම් සඳහා විසඳුම් ලබානොදුනහොත් ඉදිරියේදී රට තුළ වැඩ වර්ජන රැල්ලක් නිර්මාණය විය හැකි බවයි.
හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය සුනිල් විජේසිංහ කියා සිටියේ පෞද්ගලික අංශයේ ද වැඩ වර්ජනය ක්‍රියාත්මක වන බවයි.
එසේම කොළඹ අද (03) පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කොල්වින් ගුණරත්න කියා සිටියේ මෙම වර්ජනය නීතිවිරෝධී බවයි.