Gossips

හෙටින් පසු තද වැසි අඩුවෙයි – පාසල් ගැන තීරණය නිලධාරීන්ට

දිවයිනට බලපා ඇති අධික වැසි තත්ත්වයේ අඩුවීමක් හෙට සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂිකා අනූෂා වර්ණසූරිය කියා සිටියේ තද වැසි අඩු වූවද, තවදුරටත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි බලාපොරොත්තු විය හැකි බවයි.
කෙසේ වෙතත්, අද රාත්‍රියේ බස්නාහිර, වයඹ, මධ්‍යඹ, සබරගමුව, ඌව පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි ඇය සඳහන් කළේ.
මේ අතර, දිස්ත්‍රික්ක 12 කට බලපා ඇති අයහපත් කාලගුණයෙන් මේ වනවිට පුද්ගලයින් 57,015 දෙනෙකු පීඩාවට පත්ව තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ අයහපත් කාලගුණයෙන් 9 දෙනෙකු මියගොස් තවත් අයෙකු අතුරුදන්ව ඇති බවයි.
එසේම කළුගඟ, මිල්ලකන්ද ප්‍රදේශයෙන් සුළු ගංවතුර තත්ත්වයක් පෙන්නුම් කරන අතර, බද්දේගම ප්‍රදේශයෙන් ගිංගඟ ආශ්‍රිතව සුළු ගං වතුර තත්ත්වයක් පවතිනවා.
රාජාංගණය, පොල්ගොල්ල, ලක්ෂපාන සහ දැදුරුඔය යන ජලාශවල වාන් දොරටුද තවමත් විවෘත කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ.
මේ අතර, පවතින අධික වර්ෂාවත් සමඟ රත්නපුර, කළුතර, කෑගල්ල, ගාල්ල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නාය යාමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියා සිටියා.
අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙසයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උපදෙස් ලබාදී ඇත්තේ.
එමෙන්ම, පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූ ප්‍රදේශවල පාසල් පැවැත්වීම හෝ නොපැවැත්වීම පිළිබඳව තීරණය ගැනීමේ බලය පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත පැවරූ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සඳහන් කළා.