Gossips

හුළංදාව තලාව වැවේ පස් සෝදා වැලි ලබාගැනීමේ ජාවාරමක්

මොනරාගල, හුළංදාව තලාව වැවේ පස් සෝදා සිදුකරන වැලි ලබාගැනීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අපට වාර්තා වුණා.
අප වාර්තාකරු එහි යන විටත් යන්ත්‍රයක් ආධාරයෙන් වැලි සේදීමේ කටයුතු සිදුවන ආකාරය දැකගත හැකි වුණා.
මොනරාගල, හුළංදාව ප්‍රදේශයේ තලාව වැවෙහි රොන්මඩ ඉවත් කර ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මීට වසරකට පමණ පෙර කොන්ත්‍රාත්තුවක් ලබාදී තිබෙනවා.
ප්‍රදේශවාසීන් පවසන්නේ වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට අවසන්ව පැවතියත් ලබාගත් බලපත්‍රය භාවිතා කරමින් පස් සෝදා වැලි ලබාගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මකවන බවයි.
මෙම ජාවාරම පිළිබඳ සොයාබැලීම සඳහා එහි ගිය අපට බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් වැව් ජලයෙන්ම පස සෝදන ආකාරය දැකගත හැකි වුණා.
පස් සෝදා වැලි ගැනීමේ ජාවාරම පිළිබඳව බලධාරීන්ව දැන්වත් කළද ඔවුන් කිසිදු සොයා බැලීමක් සිදු නොකරන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.
මේ අතර මහවැලි ගඟේ වැලි කැණීම සඳහා බලපත්‍ර පසුගිය දෙසැම්බර් මස 31 වැනි දිනයෙන් අවසන්වන බව පැවසුවද මහවැලි ගඟ මුහුදට වැටෙන මෝය කට ආසන්නයේ වැලි කැණීම් කටයුතු සිදුකරන ආකාරය අප ඊයේ දිනයේ ප්‍රවෘත්ති තුළින් මෙලෙස විකාශය කරනු ලැබුවා.
මේ සම්බන්ධයෙන් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා නිවේදනයක් නිකුත් කරමින් කරුණු පැහැදිලි කර තිබෙනවා.
ඔහු පෙන්වා දෙන්නේ ත්‍රිකුණාමලයල මුත්තූරු මෝයෙහි ඇති වැලි තැටිය ඉවත් කිරීම සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම්වරයා විසින් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා වෙත කරන ලද ඉල්ලීමකට අනුව මෙම වැලි කැනීම් සිදුකරන බවයි.
පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනතේ විධි විධානවලට අනුව 2019 මාර්තු 24 දින තෙක් බලපැවැත්වෙන පරිදි මෙහි වැලි කැණීම් කටයුතු සඳහා බලපත්‍ර නිකුත් කර ඇත්තේ නීත්‍යනුකූලව බව සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.