Gossips

හිසතෙල් ගෑමේ නැකතත් අවසන්

උදා වූ සිංහල සහ දෙමළ අලූත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත් චාරිත්‍රය අද පූර්ව භාග 7.40 ට යෙදී තිබූ සුබ මොහොතින් සිදු කෙරුණා.
පලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද, පයට කොලොන් පත් ද තබා කොහොඹ පත් මිශ්‍ර නානු ගා, හිස තෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කළ යුතු බවයි නැකැත් චාරිත්‍රවල දැක්වුණේ.
මෙවර හිසතෙල් ගෑමේ ජාතික මහෝත්සවය පැවැත්වුණේ කළුතර – බෝම්බුවල ශ්‍රී සුබෝධීරාජාරාම මූලස්ථාන මහා විහාරයේදියි.
මේ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහභාගිවූ හිස තෙල් ගෑමේ මහෝත්සවය බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේදී පැවැත්වුනා.
ඒ සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලූ පිරිසක් එක්ව සිටියා.
මේ අතර මධ්‍යම පළාත් හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවය අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන මහානායක හිමියන් සහ මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර ඓතිහාසික ශ්‍රී නාථ දේවාල පරිශ්‍රයේදී පැවැත්වුණා.
එසේම චාරිත්‍රානුකූලව පින්නවල අලි අනාථාගාරයේ රැඳී සිටින අලින්ගේ හිසතෙල් ගෑමද අද සිදු කෙරුණු බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.
මෙවර හිරු ටී.වී. සංවිධාන කළ හිස තෙල් ගෑමේ උත්සවය කෝට්ටේ රාජමහා විහාරයේදී පැවැත්වුණා.
එම අවස්ථාවට කලාකරුවන් රැසක්ද එක්ව සිටියා.