Gossips

හිසට සහ කණ ප්‍රදේශයට වෙඩි වැදීමෙන් උඩවලවේ දළ ඇතා මිය ගිය බවට පශ්චාත් මරණ පරික්ෂණයේදී හෙළිවෙයි

උඩවලව ජලාශයේ පිටවාන අසළ දී අද (01) ලුයම වෙඩි තබා ඝාතනය කර තිබූ ඇත් පැටවාගේ පශ්චාත් මරණ පරික්ෂණය අද (01) උදෑසන ආරම්භ වුණා.
උඩවලව ජාතික වනෝද්‍යානයේ පශු වෛද්‍ය මාලක අබේවර්ධන විසින් මෙම පශ්චාත් මරණ පරීක්ෂනය සිදුකරන අතර එහිදී නිරීක්ෂණය වී ඇත්තේ හිසට සහ කණ ප්‍රදේශයට වෙඩි වැදීම හේතුවෙන් මෙම ඇත් පැටවා මියගොස් ඇති බවයි.
අද අලුයම දෙකත් හතරත් අතර කාලසීමාවේදී උඩවලව වනෝද්‍යානයේ ජලාශයේ පිටවාන අසළදී මෙම ඇත් පැටවා වෙඩි තබා ඝාතනය කර තිබුණා.
වනෝද්‍යානයේ පිටවාන – පහේ කණුව සහ ගල්කොරිය ප්‍රදේශ අතර නිතර සැරිසරන මෙම ඇත් පැටවාගෙන් අවට ප්‍රදේශවාසීන්ට මෙතෙක් කිසිදු හානියක් සිදුවී නැහැ.
මෙම ඇත් පැටවාගේ මවත් මේ වනවිට වනෝද්‍යානයේ සැරිසරමින් සිටින බව සඳහන්.
හත් හැවිරිදි වියේ පසුවන මීටර් 2 ක් උසැති මෙම ඇත්පැටවාට උඩවලව – තණමල්විල ප්‍රධාන මාර්ගයේ සිට කිසිවෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට සැක කෙරෙන්නේ.
උද්‍යාන භාරකරු ආර්.බී.බී. සමරනායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් හම්බෙගමුව පොලීසියට පැමිණිලි කර ඇති බවයි.
එමෙන්ම ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයටද අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් 19 92 හෝ උඩවලව ජාතික වනෝද්‍යානයේ අංකය වන 047 34 75 892 අංකයට දැනුම්දෙන ලෙසද උද්‍යාන භාරකරු ආර්.බී.බී. සමරනායක ඉල්ලීමක් කළා.