Gossips

හිරු ශාසනාවතරණයෙන් තවත් කුල දරුවන් 15 දෙනෙකු සසුන් බිමට

අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලංකා ගමනය සිහිපත් කරමින් පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය වෙනුවෙන් ආසියානු මාධ්‍ය ජාලය සංවිධානය කළ හිරු ශ්‍රද්ධාභිවන්දනා මහා අසිරිමත් සම්මා වායාමය බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් රුහුණු කතරගම කිරිවෙහෙර පුදබිමේදී මේ වනවිට පැවැත්වෙනවා.
අද අලූයම උවැසි උවැසියන් අෂ්ඨාංගශීලයේ පිහිටුවමින් ආරම්භ වූ හිරු ශ්‍රද්ධාභිවන්දනාවට අදාළව මේ වනවිටත් බොහෝ පිං කටයුතු සිදුකර අවසන්.
හිරු ශ්‍රද්ධාභිවන්දනා මහා පුන්‍ය කටයුත්තට සමගාමීව බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා කුල දරුවන් පැවදි කිරීමේ මහා පිංකම, හිරු ශාසනාවතරණය පස්වන වරටත් කිරිවෙහෙර පුදබිමේදී අද පෙරවරුවේ සිදුකෙරුණා.
ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක හිරු ශාසනාවතරණය මහා පිංකමේදී මෙවර සඟ සසුනට පූජා කළ කුල දරුවන්ගේ සංඛ්‍යාව 15 ක්.
එහිදී සසුන්ගත කෙරුණු සාමනේර භික්ෂුන් වහන්සේලා වෙත අටපිරිකර පූජා කිරීම ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා අතින් සිදුකෙරුණා.
මීට වසර 5 කට පෙර ආරම්භ කෙරුණු හිරු ශාසනාවතරණය මගින් මේ වනවිට භික්ෂුන් වහන්සේලා 70 නමක් බුදු සසුනට එක් කර තිබෙනවා.
භික්ෂුන් වහන්සේ 200 නමක් විෂයෙහි මහා සාංඝික දානමය පුන්‍ය කර්මය ද මීට සුළු මොහොතකට පෙර සිදුකෙරුණා.
එසේම, මොනරාගල දිස්ත්‍රික්කයේ පිරිවෙන් විහාරස්ථාන වෙත ත්‍රිපිටක ග්‍රන්ථ පූජා කිරීම ද අද සිදුවනවා.
ඓතිහාසික පූජනීය කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙත සුවඳ මලින් පුෂ්පෝපහාර දක්වා පංච මහා තූර්ය නාදයෙන් ශබ්ද පූජා පවත්වා, සුවඳ දුමින් නැහැවීමෙන් මහාභිදාන පුන්‍ය කර්මය ද අද පස්වරුවේ සිදුවනු ඇති.