Gossips

හිරු ශාක්‍යසිංහ මංගල්‍යයට සියල්ල සූදානම්

සම්බුදු තෙමඟුල සැමරෙන උතුම් වූ වෙසක්පුර පසලොස්වක පොහොය වෙනුවෙන් හිරු එෆ්.එම්. සහ හිරු ටී.වී. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය සංවිධානය කරන ‘හිරු ශාක්‍යසිංහ මංගල්‍යය’ මෙවර පැවැත්වෙන්නේ අනුරාධපුර රුවන්වැලි මහසෑ රඳුන් අභියසයි.
මිණි කරඬුවක, ද්‍රෝණයක් මුණි ධාතූන් වහන්සේ තැන්පත් කළ 96 කෝටියක් මහරහතුන් වැඩ සිටි පිං බිමේ එදිනට ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් රැසක් හිරු සංවිධානය කර තිබෙනවා.
සුවහස් කල්පයකට බුදුදහමේ චිරස්ථිතිය උදෙසා පැවැත්වෙන මේ මහා පිංකමේදී රුවන්වැලි මහසෑ පුදබිමට ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වාගේ සුරතින් බුමුතුරුණු පූජාවක් ද පැවැත්වීම විශේෂත්වයක්.
සමාධි බුද්ධ ප්‍රතිමාවක් සහ දොළොස්මහේ පහනක් පූජා කර, එදින පස්වරුවේ දකුණු ආසියාවේ ප්‍රථම වතාවට ආලෝක ප්‍රක්ෂේපණ රටා යොදා ගනිමින් සිදුකෙරෙන මහසෑ රඳුන් උදෙසා වූ ෂඩ් වර්ණ ආලෝක පූජාව ද පැවැත්වීමට මේ වන විට සියලූ කටයුතු සූදානම්.
ඒ, අධිෂ්ඨාන පූජාවක් ද සමඟින්.
මේ අතර, හිරු එෆ්.එම්., හිරු ටී.වී. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය 6 වන වරටත් එළි දක්වන දැවැන්ත ඩිජිටල් තොරණ දැන් ඔබට නැරඹිය හැකියි.
ලොව ඕනෑම තැනක සිට එකම වේලාවකදී වැඩිම පිරිසකට නැරඹිය හැකි මෙම ඔන් ලයින් තොරණ රාජයා මගින් මෙවර මහිලාමුඛ ජාතක කතා වස්තුව නිරූපණය කෙරෙනවා.