Gossips

හිරු මාධ්‍යවේදියාට පහරදීම ගැන පරීක්ෂණ ඇරඹේ

අංගොඩ ප්‍රදේශයේ සිදු වූ ඝාතනයක් පිළිබඳ වාර්තා කිරීමට ගිය හිරු මාධ්‍යවේදියාට පහර දීම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
කෙසේවෙතත් පහරදීමට සම්බන්ධ කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට මෙතෙක් පොලිසියට හැකි වී නැහැ.
කොළඹ – අවිස්සාවේල්ල පැරණි මාර්ගයේ අංගොඩ මං සන්ධියට ආසන්න ස්ථානයකදී ඊයේ පස්වරුවේ වූ වෙඩි තැබීමකින් 33 හැවිරිදි පුද්ගලයෙකු බරපතල තුවාල ලබා මුල්ලේරියාව රෝහලට ඇතුලත් කළා.
තාරක ඉරෝෂන් නොහොත් කොණ්ඩ තාරක මෙලෙස තුවාල ලබා රෝහලට ඇතුලත් කල අතර ඔහු එහිදී ජීවිතක්ෂයට පත් වුණා.
ඒ පිළිබඳ වාර්තා කිරීමට මුල්ලේරියාව රෝහලට ගිය හිරු මාධ්‍යවේදී සුසන්ත රත්නායක මහතාට එහි සිටි පිරිසක් පහර දී තිබෙනවා.
පහරදීමෙන් නොනැවතුනු ඔවුන් අප මාධ්‍යෙවේදීයා සතු කැමරා ආම්පන්න වලටද දැඩි හානි සිදු කර තිබුණා.
පහරදීමෙන් තුවාල ලැබූ සුසන්ත මහතා ප්‍රතිකාර සඳහා ඇතුලත් කෙරුණේ මූල්ලේරියාව රෝහලටයි.