Gossips

හිරු පුවතින් පසු හිසට සෙවණක් ලැබුණු පානදුරේ පියා

පානදුර මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගත් වයෝවෘද්ධ පියෙකු රෝහල් ආරක්ෂක නිලධාරීන් විසින් අත්තනෝමතික ලෙස පිටතට ඇද දැමූ බව කියන පුවතක් හිරු ප්‍රවෘත්ති ඔස්සේ පසුගියදා අනාවරණ කළා.
අපගේ එම අනාවරණයෙන් පසු ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක පාලනාධිකාරිය විසින් එම වයෝවෘද්ධ පියාව භාර ගැනීමට කටයුතු කර තිබෙනවා.
පානදුර මුලික රෝහල ඉදිරිපිට ඒ.ටී.එම්. යන්ත්‍රයක් ආසන්නයේ වැතිරී සිටි වයෝවෘද්ධ පියෙකු පිළිබඳව අප අනාවරණ කළේ පසුගිය 9 වැනිදායි.
හිසේ හටගත් රෝගයක් සහ කොන්දේ ආබාධයක් හේතුවෙන් පසුගිය 5 වැනිදා පානදුර මුලික රෝහලට ඇතුළත්ව ඇති ඔහු අදාළ ස්ථානයට ගෙනවිත් දමා තිබුණේ රෝහල් ආරක්ෂකයන් විසින්.
මේ සම්බන්ධව හිරු ප්‍රවෘත්ති තුළින් අප අනාවරණ කිරිමත් සමග පානදුර පිංවත්ත ආලෝකා වැඩිහිටි නිවාසයේ පාලකවරයාගේ අවධානය ඒ සම්බන්ධයෙන් යොමුව තිබෙනවා.
ඔහු ඇතුළු කණ්ඩායමක් ඊයේ පස්වරුවේ පානදුර පුද්ගලික බස් නැවතුම්පල වෙත පැමිණ වයෝවෘද්ධ පියා වැඩිහිටි නිවාසය වෙත රැගෙන යෑමට කටයුතු කළේ ඒ අනුවයි.