Gossips

හිරු උත්තම ධාතු වන්දනාව වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් ජේතවනාරාම පුදබිමට

සම්බුදු තෙමගුල නිමිත්තෙන් හිරු ටී.වී සහ හිරු එෆ් එම් සැදැහැ සිතින් සංවිධානය කරන හිරු උත්තම ධාතු වන්දනා කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනයේ දෙවන දිනය අදයි.
මේ මොහොත වනවිටත් කිලෝමීටර් ගණනාවක් දුරට නොනැවති ගලන මහා ජන ගගක් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැද පුදා ගැනීම සදහා ඓතිහාසික අනුරාධපුර ජේතවනාරාම පූජා භූමියට පැමිණෙමින් සිටිනවා.
හිරු උත්තම ධාතු වන්දනා, කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය ඓතිහාසික ජේතවනාරාම පින් බිමේදී ඊයේ අලූයම ආරම්භ වුණේ දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සාදු නාද මධ්‍යයේයි. එහිදී ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින් කපිල වස්තු පුරා නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ ජේතවනාරාම පූජා භූමියේ පිහිටි විශේෂ කුටියේ තැන්පත් කෙරුණා.
රැය පුරා නිදිවරමින් සැදැහැවතුන් ලක්ෂ ගණනක් දිගු පෝලිම්වල රැදී සිටින්නේ මේ පින්බර අවස්ථාව උදාකර ගැනීමේ අපේක්ෂාවෙන්.
ඔවුන් වෙනුවෙන් අවශ්‍ය සියලූ පහසුකම් ආසියානු මාධ්‍ය ජාලය සූදානම් කර තිබෙනවා.
හිරු උත්තම ධාතු වන්දනා කපිලවස්තු පුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය හෙට අලූයම දක්වා ඓතිහාසික ජේතවනාරාම පුදබිමේදී පැවැත්වෙනවා.
අනතුරුව එම ධාතුන් වහන්සේ ජේතවනාරාම පුදබිමේ සිට හෙට දහවල් ගල්ගමුව අලූත්හේනගම පුරාණ විහාරයටත්, නාරම්වල දම්පැලැස්ස විද්‍යාලංකාර රජමහා විහාරස්ථානයටත් වැඩම කිරීමට නියමිතයි.
අනතුරුව, හෙට රාත්‍රියේ කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ අත්තනගල්ල රජමහා විහාරය වෙත වැඩම කරවන අතර, අනිද්දා රාත්‍රියේ යළි වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානයට වැඩම කරවීමට සැළසුම් කර තිබෙනවා.