Gossips

හිරු උත්තම ධාතු වන්දනාවේදී, ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍රවූ කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේලා යළි වැඩමවීම අරඹයි

සම්බුදු තෙමඟුල නිමිත්තෙන් හිරු ටී.වී සහ හිරු එෆ් එම් සැදැහැ සිතින් සංවිධාන කළ හිරු උත්තම ධාතු වන්දනා කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය අවසන් කරමින් ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානයට යළි වැඩම කරවීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.
ඒ අතරතුර අද දහවල් කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ ගල්ගමුව – අලූත්හේනේගම පුරාණ විහාරයටත් පස්වරුවේ නාරම්මල – දම්පැලැස්ස විද්‍යාලංකාර රජමහා විහාරස්ථානයටත් රාත්‍රියේ අත්තනගල්ල රජමහ විහාරය වෙතත් වැඩම කරවනු ඇති.
ඉන් පසුවයි හෙට රාත්‍රියේ කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානයට යළි වැඩමවීම සිදුවන්නේ.
කිලෝමීටර් ගණනාවක් දුරට නොනැවති ගලන මහා ජන ගගක් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැද පුදා ගැනීම සඳහා ඓතිහාසික අනුරාධපුර ජේතවනාරාම පූජා භූමියට අද අලූයම වනතුරුම පැමිණියා.
හිරු උත්තම ධාතු වන්දනා, කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය ඓතිහාසික ජේතවනාරාම පින් බිමේදී පසුගිය සඳුදා අලූයම ආරම්භ වුණේ දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සාදු නාද මධ්‍යයේයි.
එහිදී ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින් කපිල වස්තු පුරා නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ ජේතවනාරාම පූජා භූමියේ පිහිටි විශේෂ කුටියේ තැන්පත් කෙරුණා.
කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ වන්දනා කිරීම සඳහා දිගු පෝලිම්වල රැඳී සිටි සැදැහැවතුන් වෙනුවෙන් ප්‍රදේශවාසීන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වී දන්සල් පැවැත්වූ ආකාරය දක්නට ලැබුණා.