Gossips

හිරු උත්තම ධාතු වන්දනාවට ජේතවනාරාම පින්බිම සැදැහැවතුන්ගෙන් පිරේ

උතුම් වූ සම්බුදු තෙමඟුල නිමිත්තෙන් හිරු එෆ්.එම්., හිරු ටී. වී. සැදැහැ සිතින් සංවිධාන කරන හිරු උත්තම ධාතු වන්දනාවට ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් මේ වනවිටත් අනුරාධපුර ඓතිහාසික ජේතවනාරාම පූජා භූමියට පැමිණෙමින් සිටිනවා.
හිරු එෆ්.එම්., හිරු ටී වී ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා විසින් කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ජේතවනාරාම පුණ්‍ය භූමිය වෙත අද උදෑසන වැඩම කරවනු ලැබුවේ හේවිසි සක් හඬ මධ්‍යයේයි.
පුද බිමේ රැස්ව සිටි සැදැහැවතුන්ගේ සාධු නද ජේතවනාරාම පුණ්‍ය භූමියේ රැව් පිළිරැව් දෙද්දී සර්වඥ ධාතූන් වහන්සේ ජේතවනාරාම සළපතල මළුවේ ඉදිකර තිබූ විශේෂ ධාතු මන්දිරයේ තැන්පත් කෙරුණා.
අනතුරුව කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වෙනුවෙන් අෂ්ඨ පරිෂ්කාරයෙන් යුතු උදෑසන පූජාව පවත්වනු ලැබුවේ අප අමා මෑණි බුදු රජාණන් වහන්සේට උදෑසන බුද්ධ පූජාව පවත්වන ආකාරයෙන්මයි.
එහිදී වස්කඩුව ශ්‍රී සුභූති විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය වස්කඩුවේ මහින්ද වංශාභිදාන නාහිමියන් අනුශාසනාවක් සිදු කළා.
ඉන් අනතුරුවයි කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය සැදැහවතුන්ගේ වන්දනාමාන සඳහා විවෘත කෙරුණේ.
සර්වඥ ධාතූන් වහන්සේ වැඳ පුදාගැනීමේ අරමුණින් ජේතවනාරාම පින්බිමට පැමිණ සිටි සැදැහැවතුන් වෙනුවෙන් ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා මෙවරත් උදෑසන ආහාරය සහ දහම් පඬුරක් ලබාදුන්නා.
කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඳ පුදාගැනීමේ අටියෙන් ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් මේ මොහොත වනවිටත් ජේතවනාරාම පුණ්‍ය භූමිය වෙත පැමිණෙමින් සිටිනවා.
පැමිණෙන සියලුම සැදැහැවතුන්ට අවශ්‍ය සියලු පහසුකම් සපයාදීමට ආසියානු මාධ්‍ය ජාලය කටයුතු යොදා තිබෙනවා.
අනිද්දා අලුයම වනතෙක් ජේතවනාරාම පුණ්‍ය භූමියේදී කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඳ පුදාගැනීමේ අවස්ථාව හිමිවනවා.

මේ අතර ‘‘හිරු උත්තම ධාතු වන්දනා’’, කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතු ප්‍රදර්ශනයට සමගාමීව ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා අද තවත් මහඟු පුණ්‍යකර්මයකට මුල පිරුවා.
ඒ, සිය ඇස් ඇතුලු සියලු ශරීරාංග දන්දීමේ මහඟු පුණ්‍ය කටයුත්ත සිදුකරමින්.
ඓතිහාසික ජේතවනාරාම පින්බිමේදී ආසියානු මාධ්‍ය ජාලයේ සභාපතිතුමන් සිය ශරීරාංග දන්දීම සඳහා වන පොරොන්දු පත්‍රයට අත්සන් තැබුවා.
ඒ, මහා සංඝ රත්නය, අක්ෂිදාන සංගමයේ, ජාත්‍යන්තර ඇස් බැංකුවේ, ශ්‍රී ලංකා මිනිස් පටක බැංකුවේ, නිලධාරීන් ඇතුලූ පිරිසක් ඉදිරියේයි.
මෙම පිං කටයුත්ත සර්වඥ ධාතූන් වහන්සේලා වැද පුදා ගැනීමට ජේතවන පිංබිමට පැමිණෙමින් සිටින සැදැහැවතුන්ට මෙන්ම මුළු රටටම ආදර්ශයක් බවයි මහා සංඝරත්න ඇතුළු විද්වතුන් මෙහිදී සඳහන් කළේ.
එම අවස්ථාවේදී වස්කඩුව ශ්‍රී සුභූති විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය වස්කඩුවේ මහින්ද වංශාභිදාන නාහිමියන් අනුශාසනාවක්ද සිදුකළා.
එම අවස්ථාවේදී අක්ෂිදාන සංගමයේ සභාපති දේශකීර්ති ඊ. එම්. එච්. ඞී. මොරගස්වැව සහ ශ්‍රී ලංකා මිනිස් පටක බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ඩබ්ලිව්. ඕ. හේමක ද මැල් අදහස් පළ කර සිටියා.
එමෙන්ම ජාත්‍යන්තර ඇස් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ජනත් සමන් මාතරආරච්චි ද එම අවස්ථාවට එක්ව සිටියා.
කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතු ප්‍රදර්ශනයට සමාගාමීව දානය යන මාතෘකාව ඔස්සේ අද පැවැත්වුණු විද්වත් ධර්ම සාකච්ඡාව අතරතුරද මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා.
ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා සිය ඇස් ඇතුලූ සියලූ ශරීරාංග දන් දෙමින් අද සිදුකළ මේ මහඟු පුණ්‍ය කර්මය පූර්වාදර්ශයක් කරගෙන හිරු උත්තම ධාතු වන්දනාව සඳහා පැමිණි සැදැහැවතුන් විශාල පිරිසක්ද සිය ශරීරාංග දන්දීමේ පුණ්‍යකර්මයට දායකත්වය ලබාදුන්නා.