අසිරිමත් සම්බුදු තෙමඟුල සැමරෙන පින්බර වෙසක් පොහෝ දිනය නිමිති කර ගනිමින් ආසියානු මාධ්‍ය ජාලයේ හිරු ටී.වී. සහ හිරු එෆ්.එම්. අඛණ්ඩව 06 වන වරටත් සංවිධාන කරන හිරු උත්තම ධාතු වන්දනා, කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වැද පුදා ගැනීමට අති විශාල බැතිමතුන් පිරිසක් මේ වන විටත් පැමිණෙමින් සිටිනවා.
අනුරාධපුර – ඓතිහාසික ජේතවනාරාම පුදබිමේ තැන්පත් කර ඇති සර්වඥ ධාතූන් වහන්සේලා වැද පුදා ගැනීමට දිගු පෝලිම් දක්නට ලැබෙන බවයි එහි සිටින අප වාර්තාකරුවන් සඳහන් කළේ.
වස්කඩුව ශ්‍රී සුභූති විහාරයේ සිට සුභ මොහොතින් ඊයේ (29) රාත්‍රියේ වැඩම කරනු ලැබූ කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ජේතවනාරාම පුදබිමේ සකස් කරන ලද විශේෂ ධාතු මන්දිරයේ තැන්පත් කිරීම අද (30) උදෑසන සිදුකෙරුණේ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ පින්බර සුරතින්.
එම අවස්ථාවේදී මහා සංඝරත්නය මේ උතුම් සත්කාරය වෙනුවෙන් ආසියානු මාධ්‍ය ජාලයේ සභාපතිතුමන්ට සහ කාර්ය මණ්ඩලයට ආශිර්වාදපූර්වක ස්තූතිය පුද කරනු ලැබුවා.
සර්වඥ ධාතූන් වහන්සේලා වැද පුදා ගැනීමට පැමිණ සිටි සැදැහැවතුන්ට අවස්ථාව හිමි වූයේ ඉන් අනතුරුවයි.
මෙහිදී බැතිමතුන් සඳහා ආසියානු මාධ්‍ය ජාලයේ සභාපතිතුමන් විසින් කිරි ආහාර ලබාදීම ද සිදුකෙරුණා.
ආසියානු මාධ්‍ය ජාලයේ සභාපතිතුමන් මෙම පිං කටයුත්තට සමාගාමීව සිය ඇස්, ඉස්, මස්, ලේ ඇතුළු සියළු ශරීර උපාංග දන් දීමේ උදාර කටයුත්තට ද අද (30) පෙරවරුවේ එක්වුණා.
ඒ, තමන්ගේ ශරීර අවයව තවත් දිනෙක, තවත් කෙනෙකුට ජීවිතය දැකීම සඳහා ඉඩ ලබාදෙමින්.
මෙම පිං කටයුත්ත සර්වඥ ධාතූන් වහන්සේලා වැද පුදා ගැනීමට ජේතවන පිංබිමට පැමිණෙමින් සිටින සැදැහැවතුන්ට මෙන්ම මුළු රටටම ආදර්ශයක් බවයි මහා සංඝරත්න ඇතුළු විද්වතුන් මෙහිදී සඳහන් කළේ.
සර්වඥ ධාතූන් වහන්සේලා උදෙසා බැතිබරව දහවල් බුද්ධ පූජාව පූජා කිරීම ද අද (30) දහවල් සිදුකෙරුණා.