Gossips

හිරුණිකාගේ දේශපාලන කටයුතු සහ වෙනත් කටයුතුවලට මගනැගුම ගිණුමකින් කෝටි දෙකක්

හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ දේශපාලන කටයුතු හා වෙනත් කටයුතු සඳහා මගනැගුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමාගමේ සේවක සුබසාධක සංගමයේ ගිණුමකින් මුදල් යොදවා සිදුකළ මූල්‍ය වංචාවක් පිළිබඳ පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට කරුණු වාර්තා කළා.
අධිකරණයට දැක්වූ කරුණු අනුව සිදුව ඇති බව කියන මුදල් වංචාව රුපියල් කෝටි 2 කට ආසන්නයි.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක ඉදිරියේ කරුණු දක්වමින් සඳහන් කළේ මගනැගුම ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමාගමේ සේවක සුබසාධක සංගමයේ ගිණුමකින් හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ දේශපාලනික කටයුතු හා වෙනත් කටයුතු සඳහා මුදල් වෙන්කිරීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි.
නිර්නාමිකව ලැබුණු පැමිණිල්ලක් මත පොලිස්පතිවරයා විසින් අදාළ විමර්ශනය සිදුකරන ලෙස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට භාරදී තිබෙනවා.
හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ දේශපාලනික කටයුතු සහ වෙනත් කටයුතු සඳහා අවස්ථා දෙකකදී මුදල් වෙන්කර ඇති බව මගනැගුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමාගමේ සේවක සුබසාධක සංගමයේ 2013 සහ 2014 විගණන වාර්තාවල දැක්වෙන බවට මූල්‍ය අපරාධ කොට්ඨාශය අධිකරණයට කරුණු වාර්තා කළා.
ඒ අනුව 2013 වසරේදී රුපියල් දොළොස් ලක්ෂ දහ හත්දහස් හත්සිය පනහක් වෙන් කරගෙන තිබෙනවා.
2014 වසරේදී වෙන්කරගෙන ඇති මුදල රුපියල් එක්කෝටි හැත්තෑ හයලක්ෂ හතළිස් හත්දහස් එකසිය හැත්තෑ නවයක්.
ඒ අනුව හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ දේශපාලන කටයුතු සහ වෙනත් කටයුතු සඳහා රුපියල් එක්කෝටි අසූ අට ලක්ෂ හැට හතරදහස් නවසිය විසි නවයක මුදලක් සුබසාධක සංගමයේ ගිණුමෙන් යොදවා තිබෙනවා.
මෙම මුදල් සුබසාධක සංගමයේ ව්‍යවස්ථාවට පටහැනිව ලබාගෙන ඇති බව විගණනයේදී අනාවරණ වී ඇතැයි පොලීසිය අධිකරණයට දැනුම් දුන්නා.
අදාළ මුදල් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙත ලබාදීම තහවුරු කිරීමේ බිල්පත් ඉදිරිපත් කර ඇති බවටද පොලීසිය අධිකරණයට කරුණු දක්වා තිබෙනවා.
මේ වරද මගින් දණ්ඩනීති සංග්‍රහයේ 386, 389, 113 සහ 100 යන වගන්ති උල්ලංඝනය කර ඇති බවට කරුණු දැක්වූ පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය, සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බවත්, අධිකරණයට දන්වා සිටියා.