Gossips

හිටපු DIG නාලකගෙන් පැය 8 ක් ප්‍රශ්න කෙරේ – හෙටත් රහස් පොලීසියට කැදවයි

ඝාතන කුමන්ත්‍රණ චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගෙන් පැය අටහමාරකට ආසන්න කාලයක් අද ප්‍රශ්න කළා.
යළි ඔහු හෙට දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ.
අද දිනයේ පළමු වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි ඔහු එහි පැමිණියේ පෙරවරු 9.30ට පමණයි.
පෙරේදා දිනයේ නාලක සිල්වාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැදවීමක් කර තිබූ අතර ඔහු එදින නොපැමිණියේ සිය දරුවා අසනීප වී ඇති බව පවසමින්.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් මොහුගෙන් ප්‍රශ්න කෙරෙනවා.
ඊට අදාළ තොරතුරු දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර පළමු වරට මාධ්‍ය වෙත පසුගිය මස 12 වනදා කරුණු අනාවරණ කළේ ඔහු සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අතර ඇති වූ දුරකථන සංවාදයක් ද ප්‍රසිද්ධියට පත් කරමින්.
ඉන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කළ අතර නාමල් කුමාර ඉදිරිපත් කළ හඩපටය රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත භාර දෙනු ලැබුවා.
එම වාර්තාවද පසුගිය 9 වනදා අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී හඩපටයේ අඩංගු හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සහ නාමල් කුමාරගේ කටහඩ සජීවි කටහඩ සමග ගැලපෙන බව සනාථ වුණා.
එමෙන්ම, මෙම සිද්ධියට අදාළව හිටපු නියෝජ්‍ය පොලිස්පතිිවරයාට සහ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විදෙස් ගමන් තහනමක් ද පනවා තිබෙනවා.
මේ අතර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ වැඩ තහනම් කිරීමට රාජ්‍ය පරිපාලන, කලමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර ගත් තීරණයට පොලිස් කොමිසමේද අනුමැතිය ඊයේ හිමිවුණා.