Gossips

හිටපු හමුදාපති රොහාන් දළුවත්ත අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා යුද හමුදාවේ 14 වන යුද හමුදාපතිවරයා වූ ජෙනරාල් රොහාන් දළුවත්ත වයස අවුරුදු 77ක්ව සිටියදී අද අභාවප්‍රාප්ත වුණා.
1996 වසරේ සිට 1998 වසර දක්වා හමුදාපති ධුරය හෙඹවූ ඔහු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ තුන් වන ඊළාම් යුද්ධයට එරෙහිව රිවිරැස මෙහෙයුම දියත් කිරීමට පුරෝගාමී වූ සෙන්පතියෙක්.
යුද හමුදා කැඩෙට් පාසලේ ප්‍රධානියා මෙන්ම ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ප්‍රධානියා ලෙස ද කටයුතු කළ ඔහු පසුව ජෙනරාල් ධුරයට උසස් කොට ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා බවට පත්වුණා.
පසුව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස ද කටයුතු කළ ජෙනරාල් රොහාන් දළුවත්ත, 2002 වසරේ සිට තුන් වසරක් බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ අතර, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය ද හොඹවනු ලැබුවා.
යුද සෙන්පතියෙකු ලෙස ලැබූ ප්‍රවීනත්වය මත වීර වික්‍රම විභූෂණ පදක්කමෙන් ද පිදුම් ලැබූ ජෙනරාල් රොහාන් දළුවත්ත කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්.