Gossips

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යළි රිමාන්ඩ් -ඩ්‍රෝන කැමරා සහිත කෝටි ගණනක වාහනයක් ත්‍රස්ත විමර්ශන ඒකකයේ

ඝාතන කුමන්ත්‍රණ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මේ මස 21 වැනිදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ, ඔහු කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා එහිදී ඔහු වෙනුවෙන් ඇප ඉල්ලීමක් සිදුකළ අතර, ඒ සම්බන්ධයෙන් ලිඛිත දේශන ලබන 21 වනදාට ගොනුකරන ලෙස නීතිපතිට සහ විත්තිකාර පාර්ශවයට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
එමෙන්ම නාලක සිල්වාගේ නීතීඥවරයා මෙහිදී විමසා සිටියේ තම සේවාදායකයාට එරෙහිව නඩු පවරා ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ද, එසේත් නොමැතිනම් සාමාන්‍ය නීතිය යටතේද යන්නයි.
එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ ඔහුට එරෙහිව සාමාන්‍ය නීතිය යටතේ විමර්ශන කටයුතු සිදුකළ බවයි.
එලෙස විමර්ශන සිදු කිරීමේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ද`ඩුවම් ලබාදිය හැකි චෝදනා ඔහුට එරෙහිව පවතින බවට අනාවරණ වූ බවද නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම්දුන්නා.
ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.
එමෙන්ම රුපියල් කෝටි 4 කට අධික වටිනාකමකින් යුත් ඩ්‍රෝන කැමරා සහිත නවීන වාහනයක් ත්‍රස්ත විමර්ශන ඒකකයට ගෙන්වීම සම්බන්ධයෙන්ද නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයේදී මහේස්ත්‍රාත්වරයා දැනුම්වත් කළා.
රටේ යුද්ධයක් නොමැති අවස්ථාවක මෙවැනි වාහනයක් ලබාගැනීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි එම දෙපාර්තමේන්තුව එහිදී වැඩිදුරටත් කියා සිටියේ.
පොලීසියේ ප්‍රබලතම අංශයක් වන ත්‍රස්ත විමර්ශන ඒකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ සැකකරු, සාමාන්‍ය පුරවැසියෙකු වන නාමල් කුමාර වසරක පමණ කාලයක් සිය ග්‍රහණයේ තබාගෙන විවිධ සැළසුම් සිදුකර ඇති බවද නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අද අධිකරණයේදී අනාවරණ කළා.
එසේම සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් ඝාතන සැළැස්ම පිළිබඳ මෙන්ම ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන සැළැස්ම පිළිබඳවද මේ වනවිට තොරතුරු අනාවරණ වී ඇති බවයි ඔහු දැනුම් දුන්නේ.
යම් අනාවරණයක් සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමට පොලිස්පතිවරයා විසින් නාමල් කුමාර නාලක ද සිල්වාට භාරදී ඇතත්, ඔහු නාමල් කුමාර සිය ග්‍රහණයේ තබාගෙන සැළසුම් දියත් කර ඇති බවටද නීතිපති දෙපාර්තමේන්තුව කරුණු දක්වා සිටියා.
එසේම පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව – මහේස්ත්‍රාත් රංග දිසානායක වෙත ඉදිරිපත් කර තිබෙනවා.