Gossips

හිටපු නාවික හමුදාපති කරන්නාගොඩගෙන්, CIDයට පැය 8 ක ප්‍රකාශයක්

අධිකරණ නියෝගයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, අද පැය 8 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදුන්නා.
අද පෙරවරු 9 ට පමණ හිටපු නාවික හමුදාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර, ඔහු ඉන් පිටව ගියේ අද පස්වරු 5ට පමණයි.
ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය හත්වනදා හිටපු නාවික හමුදාපතිවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට නියෝගයක් ලබාදුන්නේ ඔහු විසින් තමන් අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබාගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලූ අවස්ථාවේදියි.
එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය එදින හිටපු නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබාගැනීම වළක්වලමින් තහනම් නියෝගයක්ද නිකුත් කළා.
2008 – 2009 කාල වකවානුවේදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපතිවරයාටද චෝදනා එල්ලවනවා.