Gossips

හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම, ශ්‍රේෂ්ඨාධිකරණය වළක්වයි

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද තහනම් නියෝගයක් නිකුත් කළා.
ඒ, 2008/2009 වකවානුවේදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපතිවරයා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද සලකා බැලූණු අවස්ථාවේදීයි.
පෙත්සම බුවනෙක අළුවිහාරේ, විජිත් මලල්ගොඩ සහ පී‍්‍රති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලූණා.
මෙහිදී අද්මිරාල් වසන්ත කරන්නාගොඩ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කියා සිටියේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් රණවිරුවෙකු වන තම සේවාදායකයා පදනම් විරහිතව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වන බවයි.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් නාවික හමුදාව ඇතුළු අංශ ගණනාවක් පරීක්ෂණ කළද, එම කිසිදු පරීක්ෂණයකින් තම සේවාදායකයාට චෝදනා එල්ල නොවූ බවයි ඔහු කියා සිටියේ.
එසේ තිබියදී වසර 10 කට පමණ පසු හදිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමට සූදානම් වන්නේ රාජ්‍ය නොවන සංවිධානවල බලපෑම මත ජිනීවා මානව හිමිකම් සමුළුව අරමුණු කරගනිමින් බවට ජනාධිපති නීතිඥවරයා චෝදනා කළා.
එසේම, මෙහිදී ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ මෙම සිදුවීමේ විමර්ශන අතරතුරදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන් මෙරට නාවික හමුදා කඳවුරු පරීක්ෂා කළ බවයි.
එවන් සිදුවීම්වලින් පසු හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීමට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවද ඔහු අධිකරණය හමුවේ සඳහන් කළා.
පුද්ගලයින් දෙදෙනෙකුගේ සාක්ෂි මත පමණක් අත්අඩංගුවට ගැනීම අසාධාරණ බව ප්‍රකාශ කළ ඔහු, අද්මිරාල් වසන්ත කරන්නාගොඩට එරෙහිව සාක්ෂි ලබාදී ඇති හිටපු නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා නාවික හමුදාවෙන් ඉවත්ව ඇමරිකානු තානාපති කාර්යාලයේ සේවය කරමින් සිටි සමයේ එලෙස සාක්ෂි ලබාදී ඇති බව ප්‍රකාශ කළා.
පසුව ඔහු මෙරට නාවික හමුදාපති ධූරයට පත්ව ඇති බවයි ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ. තම සේවාදායකයාට එරෙහිව නීතිපතිවරයා අධි චෝදනා ගොනු කිරීමට සැරසෙන බව තමන් දැනගත්තද ඒ සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් පළ නොකරන බවද ඔහු කියා සිටියා.
එහිදී ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සඳහන් කළේ තම සේවාදායකයා කිසිදු අවස්ථාවක අධිකරණය මග හැර පළා නොයන බැවින් මෙම අවස්ථාවේ ඔහුව අත්අඩංගුවට ගැනීමට කිසිදු උවමනාවක් මතු නොවන බවයි.
අනතුරුව අදහස් දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න සඳහන් කළේ පෙත්සම්කරුට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බවයි.
තරුණයින් පැහැර ගැනීමේ සිද්ධියට අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සම්බන්ධ බවට ඇසින් දුටු සාක්ෂි නොමැති බවද, ඔහු අධිකරණය හමුවේ කියා සිටියා.
යුද ජයග්‍රහණයට නායකත්වය දීම යනු නීතිය ඉදිරියේ අසාමාන්‍ය සැලකීමකට බඳුන්වීමකට හේතුවක් නොවන බව ප්‍රකාශ කළ අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න වැඩිදුරටත් කියා සිටියේ නීතිය සෑම පුද්ගලයෙකුටම එක සේ ක්‍රියාත්මක විය යුතු බවයි.
මෙම සිද්ධිය වී වසර 10 ක් ගතව ඇති අතර, තම පාර්ශවය යුක්තිය ඉටුවන තුරු බලා සිටින බව පෙත්සමට මැදිහත්කාර පාර්ශවයක් ලෙස එක් වූ පැහැරගත් තරුණයෙකුගේ මවක් නියෝජනය කරමින් ඉදිරිපත් වූ නීතිඥ ජේ.සී.වැලිඅමුණ සඳහන් කළා.
අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම වැළැක්වීමෙන් පරීක්ෂණ සඳහා බාධා එල්ල විය හැකි බවයි ඔහු සඳහන් කළේ.
කෙසේ වෙතත්, අධිකරණයට දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් හිටපු නාවික හමුදාපතිවරයා පොරොන්දු වී තිබුණේ ඕනෑම අවස්ථාවක තමන් අධිකරණය හමුවේ පෙනී සිටීමට සූදානම් බවත්, අධිකරණයේ අවසරයකින් තොරව විදේශගතවීමක් සිදු නොකරන බවයි.
කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පෙත්සම්කරුව අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීම වළක්වාලමින් තහනම් නියෝගය නිකුත් කළා.
එහිදී විනිසුරු මඩුල්ල කියා සිටියේ මෙම නියෝගය තුළින් පෙත්සම්කරුට විරුද්ධව ක්‍රියාත්මක වන නීතිමය ක්‍රියාමාර්ගයන්ට කිසිදු බාධාවක් නොමැති අතර, නීතිපතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නඩු කටයුතු සහ පරීක්ෂණ ඉදිරියට පවත්වාගෙන යා හැකි බවයි.
ඒ අනුව පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ලබන 11 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසයි හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩට නියෝග කළේ.
එසේම, හිටපු නාවික හමුදාපතිවරයාට රටින් පිටතට නොයන ලෙස නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, මහාධිකරණ නඩු විභාගයන් සඳහා සහභාගි වීම, සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසයි නියෝග කළේ.